නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පසුගියදා රිජ්වේ ආර්යා රෝහලේ වකුගඩු සම්බන්ධ ගැටලුවක් මත දරුවෙකු මියයාමේ සිදුවීම පුවත්පතකට පැහැදිලි කර තිබේ. ඒ මෙසේය.

මීට දින කීපයකට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවෙක් ගෙනාවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබා අමාරු වෙලා අපේ රෝහලට ඇතුළත් කළා. ඒ ඇතුළත් කරන විටත් දරුවා හුඟාක් අසාධ්‍ය තත්ත්වයේ තමයි සිටියේ. අපිට ආ ගමන්ම අපි දැඩි සත්තාර ඒකකයට ඇතුළත් කරලා කළ හැකි සෑම ප්‍රතිකාරයක්ම ලබා දුන්නා. නමුත් බේර ගන්න බැරිවුණා. මෙම දරුවාට විෂබීජයක් ශරීරගත වෙලා. එය හෘද වස්තුව දක්වා ගමන් කරලා හෘදය අකර්මණ්‍ය වෙලා තමයි මේ දරුවා මිය ගිහිල්ලා තියෙන්නේ. මේ දරුවාව නියමිත වෙලාවට රෝහලට ඇතුළත් කළා නම් ජීවිතය ‌බේරා ගන්න තිබුණා. නමුත් මේ දෙමාපියන් නිසි වේලාවට රෝහලට ඇතුළත් කළේ නැත්තෙ ඇයි කියලා මට වාර්තා වෙලා නැහැ.



නියමිත වෙලාවට රෝහල්ගත කළොත් කිසිම රෝගියකු මිය යන්නේ නැහැ. ජලභීතිකා රෝගයටත් ප්‍රතිකාර තියෙනවා. නියමිත වේලාවට රෝහලට පැමිණියොත් අපිට ජීවිතය බේරා ගන්න පුළුවන්. පිටගැස්ම සහ ජලභීතිකා රෝගය හැදුණු පසුව එය සුව කරන්න අපිට හැකියාවක් නැහැ.

රිජ්වේ ආර්යා ළමා රෝහළ තුළ මේ විට කුඩා දරුවෙකුට සිදුකළ ශල්‍යකර්මයක් පිළිබඳව සමාජය තුළ ලොකු කතාබහක් ගොඩනැගී තිබෙනවා. මේ ගැන යමක් සඳහන් කළොත්?

මේ දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී අපි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමුකළා. වෛද්‍යවරයා සියලුම පරීක්ෂා කිරීම් කරලා තමයි ශල්‍යකර්මය කරන්න පටන් ගත්තේ. මේ ශල්‍යකර්මය කළේ පළපුරුදු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. මේ දරුවාගේ වකුගඩු පිහිටීම ඉතාමත් අස්වාභාවික තත්ත්වයක තිබුණේ. මෙම දරුවා වයස අවුරුදු 2 ක අයෙක්. මොහුගේ ශල්‍යකර්මය සිදුකරමින් තිබෙන අවස්ථාවකදී තවත් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකුත් මේ අවස්ථාවේදී ගෙන්වාගෙන ඔහුගෙන්ද උපදෙස් ලබා ගෙන තියෙනවා. ඒ අවස්ථාවේදී ඔහුත් ප්‍රකාශ කර තියෙනවා මේ වකුගඩු අක්‍රමවත්ව පිහිටලා තියෙන බව. සැත්කම සිදුකරමින් තිබෙන අවස්ථාවේදී විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයකු ශල්‍යාගාරයට උපකරණය ගෙන්වා ස්කෑන් පරීක්ෂාවක් කළා. එය සාමාන්‍යයෙන් ශල්‍යාගාරයකදී නොකරන දෙයක්.

අවාසනාවකට මේ දරුවාගේ වකුගඩු දෙකම එකට බද්ධවෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි වකුගඩු දෙකම ඉවත් කරන්න සිදුවෙලා තියෙන්නේ. මම දැක්කා මේ කාරණය ඇතැම් මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබුණා නරක වකුගඩුව වෙනුවට හොඳ වකුගඩුව ඉවත් කරලා කියලා. මේ වාර්තාවන් ගැන මම කනගාටු වෙනවා. වැරදි වකුගඩුව ඉවත් කිරීමක් හෝ වැරදි පැත්තෙන් කපා දැමීමක් හෝ සිදුකරලා නැහැ. නමුත් උත්පත්තියෙන්ම මේ දරුවාගේ වකුගඩු දෙකම එකට බද්ධවෙලා පිහිටීම නිසා තමයි මෙසේ ඉවත් කිරීමට සිදුවෙලා තියෙන්නේ.

ඒ වගේම යම් යම් පිරිස් අහලා තිබුණා මේ වකුගඩුව ඉවත් කරලා අපි කාටද විකිණුවේ? කීයටද විකිණුවේ කියලා. මේ වන විටත් මේ වකුගඩු දෙකම මේ රෝහලේ තියෙනවා. කවුරුහරි අපිට චෝදනා කරනවා නම් මේ වකුගඩුව මේ දරුවාගේ නෙවෙයි කියලා ජානමය පරීක්ෂණයක් හෝ කරලා පෙන්වන්න අපි සූදානම්. මේ වගේ බොරු ප්‍රචාරයන් කිරීම තුළින් රෝහල හා සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රටේ ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. මෙය විශාල හානියක්.

සංවාදය - ශ්‍රියානි විජේසිංහ