The-father-who-tortured-the-children-to-see-the-mother-in-the-country-on-WhatsApp-video-was-arrested

විදෙස්ගතව සිටින තම බිරිය ගෙන්වා ගැනීමට හා ඇයගෙන් මුදල් ලබාගැනීමට අවුරුදු 3 සහ 5 වයසේ පසුවන සිය දියණියන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී, කෲරත්වයට පත් කළ බව කියන නරුම පියකු මාතර වේරදුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
අමානුෂික වධ හිංසා වලට ලක් වූ බව කියන දැරියෝ දෙදෙනා පොලීසිය විසින් මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. එම දැරියන් දෙදෙනා දැඩි ලෙස ශාරීරික හා මානසික
හිංසාවන්ට ලක්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.



නේවාසික වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු දැරියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, කුඩා දැරියට මාස 5ක් පමණ වන විට මව විදෙස්ගතව ඇතැයි ද, ඉන් අනතුරුව මිත්තණිය ද විදෙස්ගත වීමෙන් පසු, ද සැකකාර පියා එම දැරියන් හදාවඩා ගෙන ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අතරතුරදී බිරිය ගෙන්වා ගැනීමට හා ඇයගෙන් මුදල් ගෙන්වා ගැනීමට ඔහු ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුම් ගෙන, දරුවන්ට වධ හිංසා පමුණුවා ඇති බව කියති.
සැකකරු ඉකුත් සිකුරාදා රාත්‍රියේ දැරියන් දෙදෙනා නිවෙසේ බාල්කයක එල්ලා, පහර දෙමින්, දරුවන් ඝාතනය කරන බව වට්ස් ඇප් වීඩියෝ ඇමතුම් මගින් මිත්තණියට පෙනෙන්නට සලස්වා ඇති බව දැනගන්නට ඇත.


ඊට අදාළ වීඩියෝපටය ද පොලීසියට ලැබී තිබේ.
ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119ට ලැබුණු තොරතුරකට අනුව, මාතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාර පියා සැකපිට අත්අඩංගුවට ගෙන, දරුවන් පොලීසිය බාරයට ගෙන ඇත.
සැකකාර පියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු ද යන්න විමර්ශන කරන බව පොලීසිය කියයි.
සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවයි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්