Vavuniya-double-murder-prime-suspect-in-jail-with-woman-for-90-minutes-on-daily-calls

පසුගියදා උපන්දින සාදයකදී සිදු කළ වවුනියාව කැළඹූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරු වවුනියාව බන්ධනාගාරය තුළදී  දුරකථනයක් සොයාගෙන තිබූ පුවත වාර්තාවී තිබූ අතර වැඩිදුර සොයා බැලීමේදී ඔහු දිනකට විනාඩි 90ක කාලයක් කාන්තාවක් සමඟ සංවාද 35ක් පැවැත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඝාතන විමර්ශන ඒකකය අධිකරණයට දන්වා තිබේ.



පසුගිය මස 23 වැනිදා අලුයම වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් එම නිවසේ සිටි අයකුට කඩුවකින් පහර දී නිවසට පෙට්‍රල් දමා ගිනි තබා තිබුණි. මෙම සිද්ධියේදී තරුණ පවුලේ ස්වාමිපුරුෂයා සහ බිරිඳ යන දෙදෙනාම මිය ගියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදු කරනු ලැබුණි.

මේ අතර ප්‍රධාන සැකකරුවන් ඇතුළු 5 දෙනෙකු වවුනියාව බන්ධනාගාරයේ සහ එක් අයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී වවුනියාව බන්ධනාගාරයේ ප්‍රධාන සැකකරු දුරකථනය භාවිත කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනගන්නට ලැබී තිබුණි.



ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව පෙරේදා (24) අලුයම බන්ධනාගාරය තුළ සිදුකළ හදිසි වැටලීමකදී ප්‍රධාන සැකකරු සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

එකී දුරකථනය හරහා පිටතට යන ඇමතුම් 3292ක් ලබාගෙන ඇති අතර ඉන් ඇමතුම් 3ක් එම පුද්ගලයාගේ බිරිඳටද තවත් කාන්තාවක් පැය එකහමාරකට 35 වතාවක්ද ඇමතුම් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකය දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණ කටයුතු කරගෙන යයි.