electric-bus-colombo

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ක්‍රමය හඳුන්වාදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසුවේ ජාතික බස් සංගම් හතක් ද මේ ද වන විට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා

එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබාගැනීම කඩිනමින් සිදුකරන බවයි.ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායා දුන්නේ මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළේය. ඉදිරියේ දී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී ජී.පී.එස්. තාක්ෂණය සහ විද්‍යුත් ටිකට්පත් සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්නායකයක් ලෙස සලකා බලන බව ද මෙහිදී සඳහන් කෙරුණු අතර කොට්ටාව බස් නැවතුම් පොළ, මාකුඹුර බහු විධ මඟී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමට ද යෝජනා විය.

අංජුල මහික වීරරත්න