chicken-import

කර්මාන්ත සදහා අවශ්‍ය කුකුළු මස් ආනයනයට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කටු රුස්වීමේදී එකඟ වී තිබේ. කුකුළු මස් මිල ගණන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්ටමක තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වෙළෙදා, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.


මේ පිළිබඳ දැනුවත් කිර්ම සඳහා වූ මාධ්‍ය හමුවක් එම අමාත්‍යාංශයේදී ඊයේ(31) කැඳවමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ වෙළෙඳ පොළ තුළ ඉහළ යන කුකුළු මස් මිල ගණන් සම්බන්ධයෙන් හා එම මිල ගණන් පහත දමන ලෙසට දේශීය නිෂ්පාදකයන් දැනුවත් කළද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවයි.

ඒ අනුව මේ වනවිට දේශීය වෙළෙද පොළේ පවතින මිල වන රුපියල් 1450කට අඩු මිලකට මෙම ආනයනය කරන කුකුළු මස් කර්මාන්ත සඳහා ලබා දීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම එම කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයන්හි මිල අඩු වීමක් අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.



කෙසේ වුවද තවදුරටත් වෙළෙඳ පොළෙහි කුකුළු මස් මිල ඉහළ යෑම පාලනය කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද කුකුළු මස් ආනයනය කර ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, කුකුළු මස් මිල ගාණන් පහළ දමන ලෙසට දේශීය කුකුළු ව්‍යාපාරිකයන් දැනුම්වත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් කෘෂිකාර්මික අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් බවද පැවසීය.