chinese-pyramid-man-fraud

කොල්ලකරුවන් පිරිසක් බොරැල්ලේ සිය නිවසට කඩා වැදී රුපියල් කෝටි 4ක මුදල් හා දේපළ කොල්ල කෑ බවට පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ මහා පරිමාණ ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරමක හා දුම්වැටි ජාවාරමක නිරතව සිටින බව කියන චීන ජාතිකයකු ඇතුළු තිදෙනකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. සැකකරු මහපරිමාණ ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරම්කරුවකු බවත්, ඔහු කැසිනෝ සූදුවට තදින්ම ඇබ්බැහිවූවකු බවත් පොලිසිය කියයි. හෙතෙම වරාය නගරයේ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි. ඔහු බොරැල්ලේ හා කුරුඳුවත්තේ මසකට රුපියල් ලක්ෂ 17 බැගින් කුලී පදනම මත නිවෙස් දෙකක් ලබාගෙන එම නිවෙස්වල සිට චීන ජාතික තවත් කිහිපදෙනකු හා මෙරට තරුණ පිරිසක් යොදාගෙන මෙම පිරමිඩ් ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.



සැකකරු කැසිනෝ සූදුවට ඇබ්බැහි වී, පිරිමිඩ් ජාවාරමෙන් උපයා ගත් මුදල් පරාද වීම නිසා පිරමීඩ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එම මුදල් කොල්ල කෑ බව ඇඟවීමට ව්‍යාජ කොල්ලයක් සැලසුම් කර ඇති බව පොලිසිය කියයි. පිරමිඩ් ජාවාරමේ නිරත ආයෝජකයන්ගේ කෝටි ගණනින් මුදල්වලින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදී සිට පැරදුණ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇතැයි පැවසේ.සැකකරු ඔහුගේ භාෂා පිරිවර්තකයාට හා රියැදුරුට රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවා මෙම ව්‍යාජ කොල්ලය නිර්මාණය කර ඇති බවද පොලිසිය පවසයි.තිදෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් පසුගිය 19 වැනිදා නිවසට කඩා වැදී පිස්තෝලයක් පෙන්වා තම භාෂා පරිවර්තකට, රියැදුරුට හා තමාට පහරදී අප්‍රය ගැට ගසා නිවසේ තිබූ දෙස් විදෙස් මුදල්, ජංගම දුරකතන 11 ක්, විදෙස් මත්පැන් හා නිවසේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථය ඇතුළු රුපියල් කෝටි 4කට අධික වටිනා දේපළ සොරාගත් බවට ඔහු බොරැල්ල පොලිසියට ඉකුත් 20 වැනිදා පැමිණිල්ලක් කර ඇත.



පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කර ඇති අතර කොල්ල කෑ බව කියන වෑන් රථයක් ගමන් ගන්නා බවට නිරීක්ෂණ වී නැති අතර එවැනි කොල්ලයක් සිදුවී ඇති බවට තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැත. මෙය ඔවුන් කළ ව්‍යාජ පැමිණිල්ලක් බව ප්‍රධාන සැකකරුගෙන් හා ඔහුගේ භාෂා පරිවර්කතගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.සැකකුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම සියලු තොරතුරු හෙළි කර ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී දුම්වැටි තිස් දහසක්, ජංගම දුරකතන විස්සක් සහ ලැප්ටොප් පරිගණක හතක් පොලිසි භාරයට ගත් බව පොලිසිය කියයි.

පැහැර ගත් බව කියන සුඛෝපභෝගි මෝටර් රථය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික රථ ගාලක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. සැකකරු බාරයේ තිබූ වාහන තවත් 5 ක් ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු වන චීන ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙරට සිට සිදුකරන ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරම සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වූ බවත් පොලිසිය පවසයි. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යන බවට සැකකරු පැවසුවද ඔහුට එවැනි සගමක් නොමැති බවට ද පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත.

සැකකරු කුලී නිවාසවල සිට මෙම පිරමිඩ් ජාවාරම කරගෙන ගියද ඔහු කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ හතක සුපිරි නිවාස හතක හිමිකරුවකු බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ බව තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක‍