chocolate-finger-mahiyangana

මහියංගණ මූලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක විසින් මිලදී ගත් චොක්ලට් එකක් තුළ තිබී මිනිසකුගේ ඇඟිල්ලක කොටසක් හමුව තිබුණේ පෙරේදා (05 වැනිදා)ය. ඒ පිළිබඳව ඇය මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. අනතුරුව මහියංගණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ පරීක්ෂාවකට ද එය ලක් කෙරිණි. එම චොකලට් එක මිලදී ගෙන තිබුණේ රෝහලේ ආපන ශාලාවෙන් වූ අතර එය මෙරට ප්‍රසිද්ධ දේශීය නිෂ්පාදනයක් බවට ද තහවුරු වී තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමෙන් සහ මහියංගණ නගරයේ සුපිරි වෙළෙඳසල්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාණ්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාදන සිය භාරයට ගෙන ඇත.



“මම තුන්වැනිදා දවල් කාලයේ දී කෑම කාලා අතුරුපසට කන්න කියලා චොක්ලට් එකක් අරගෙන ආවා එකෙන් කෑල්ලක් කාලා ඉතිරි කෑල්ල පස්සේ කනවා කියලා හිතලා ශීතකරණයට දාලා ගියා. පහුවදා ඇවිත් වෙනදා වගේ දවල් කෑම කාලා අතුරුපසට ගන්න කියලා ශීතකරණයේ දාලා ගිය චොකලට් එක කන්න ගත්තා. එතකොට චොකලට් එකේ තිබිලා අමුතු කෑල්ලක් හැපෙන්න ගත්තා මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මොකද මම ගත්තේ “පෘට් ඇන් නට්’’ වර්ගයේ එකක් නිසා. පස්සේ අයේ තදින් හැපුවා ඒත් කෑලි වෙන්නේ නැති පාර මම ඒ කෑල්ල අරගෙන ටැප් එකට අල්ලලා හොඳට හේදුවා. ඒ පාර තමයි දැක්කේ මනුස්සයෙක්ගේ ඇඟිල්ලක් කියලා. යැයි සිද්ධියට මුහුණ දුන් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකාව කියා සිටියාය.

මෙම මිනිස් අඟිල්ල දුටු විගස ඇය මහ ශබ්දයකින් කෑ ගසා තිබිණි. එම කෑ ගැසිල්ල ඇසී ඇයගේ සමීපතයන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසා රෝහල් ‍වෛද්‍ය අධිකාරිවරයා වෙත දැනුම් දී තිබිණි.



අනතුරුව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) දැනුවත් කර ඇත. ඇයට ඇති වූ අප්‍රසන්න පිළිකුල් හැඟීම හේතුවෙන් වමනයද කර ඇති බවට පැවසේ.

සිද්ධියට අදාළ චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්ධව, අද (07 වැනිදා) අධිකරණය වෙත කරුණු වාර්ථා කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීමට මහියංගණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තීරණය කර ඇත.

රංජිත් කරුණාවීර - මහියංගණය