ආසියානු කුසලාන තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සත්කාරකයන්ගේ වාසියක් නැත. අනෙක් අතට ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවා ද ශ්‍රී ලංකාවම වන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයෙන් අඩුවක් ද නැත. නායක දසුන් ශානක මේ තත්ත්වයට මනාපය.
ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වද්දී “දැනට ශූරතාව හිමි කණ්ඩායම" ලෙසින් හැඳින්වූවද දසුන්ට එය පීඩනයක් නොවේ. උත්තේජනයක් ද නොවේ.
“අපි දන්නවා මේ වන විට අපි කොතැනද ඉන්නේ කියලා. ඒ හින්දා මේ තරගාවලිය දිහා අපි උනන්දුවෙන් බලා ඉන්නවා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඊයේ පස්වරුවේදී පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවසීය.
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (31 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සිම්බාබ්වේහිදී පැවැති අයි.සී.සී. කුසලාන දිනාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරේ ප්‍රේක්ෂකයන් වැඩි බලාපොරොත්තු රඳවා නැත්තේ එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායම් තුනක්ම ආසියානු කුසලාන තරග බිමේ සිටින බැවිනි.
සීමිත ඕවර තරගයකදී ඕවර 30 ක් නැතහොත් අඩුතරමේ ඕවර 25 ක් වත් බෙදාහදාගත යුතු වේග පන්දු යවන්නන් ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නෝ තිදෙනෙක්ම තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටිති. මේ තිදෙනාම පසුගිය 20 වැනිදා නිමාවූ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ නමුත්, විස්සයි-20 තරගයකදී යවන්නට තිබෙන ඕවර 4 මෙන් නොව එක්දින තරගයකදී ඕවර 10 ක් යැවීම බරක් බව වේග පන්දු යවන්නෝ දනිති.
ඉදින් ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණ ගැන කතා කිරිම පැත්තකින් තියන්නට සිදුවී තිබේ.
අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 08 වැනි ස්ථානයේ සිටින නමුත් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන පාකිස්තානය (01), ඉන්දියාව (03) සහ බංග්ලාදේශය (07) යන රටවල් තුනම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිති.
"දවසේ වාසනාව" දිනාගැනීම සඳහා මෙය විස්සයි-20 තරගාවලියක් ද නොවේ.
එබැවින්, වසර 40 කට ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන තරගාවලියේ 2023 අදියර දිහා ශ්‍රී ලංකාවට බලන්නට සිදුවී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර තමන් සිටින්නේ කොතැනද යන්න වටහාගැනීමේ දෘෂ්ටි කෝණයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීම් තරගාවලිය ජයගනිමින් ‘අයි.සී.සී. කුසලාන' දිනාගත් නමුත් එය කිසිසේත්ම සැලකිය යුත්තක් නොවේ. මක්නිසාද යත් ඊට සහභාගි වූයේ එක්දින ක්‍රිකට් පිටියේ හාල්මැස්සන් වන බැවිනි. බටහිර ඉන්දීය කොදෙව් පිල වුවද ඊට වැඩි වෙනසක් නැත. එහෙත් ආසියානු තරගාවලිය එසේ නොවේ. ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණයක් අත්කරගැනීමට නම් ක්‍රීඩකයන්ට තම තමන්ගේ ‘සුවදායක ඉසව්වෙන් මිදී ඉවතට පැමිණ ජයග්‍රහණය වෙනුවෙන් අරගල කිරිමට සිදුවීම සාමාන්‍යය ස්වභාවයයි.
ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ 'බී' කාණ්ඩයේ පළමු වැනියා ලෙසිනි. සුපිරි හතර දෙනා අතරට පැමිණෙන්නේ නම්, ශ්‍රී ලංකාව කොහොමටත් ‘බී’-1 ලෙසින් නම්කෙරෙනු ඇත. ඒ සඳහා ඇෆ්ඝනිස්ථානය තලාපෙලා දැමිය යුතු නමුත් ශ්‍රී ලංකා ඇෆ්ඝනිස්ථානු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී නොවේ. එය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී බැවින් අනාවැකි කීම නොහොබී.
තරගාවලිය සඳහා වර්ෂාවෙන් ද බාධා ඇතිවිය හැකිය. යම් හෙයකින් තරගයක් සම්පූර්ණකරගත නොහී, ප්‍රසාද ලකුණු දෙපිලටම බෙදී ගියහොත්, සුපිරි හතර දෙනා අතරට පිවිසීමේ සටන වඩාත් උත්සන්න විය හැකිය. එබැවින් අද (31 වැනිදා) තරගයේදීම, බංග්ලාදේශයට තලාගැනීම වඩාත් නුවණට හුරුබව ලියා තැබීම වටී.
පීඩනය යනු මෙයයි. දසුන් ශානක එයට කැමතිය.
“ඇත්තටම කියනවා නම්, සාමාන්‍යයෙන් අපි හොඳින් ක්‍රීඩා කරන්නේ පීඩනය වැඩිවන තරමටයි”
“පසුගිය කුසලාන ආසියානු තරගාවලියේදීත් (2022 දී ඩුබායිහිදී පැවැති විස්සයි20 තරගාවලියකි) ඒ වගේම තත්ත්වයක් තිබුණා. ඒත් අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ඒ තරගාවලිය ජයගත්තා. මේ තරගාවලියේදීත් පීඩනයක් තියෙනවා තමයි. ඒත් අපි පීඩනය හොඳින් හසුරුවාගන්නවා"යයි දසුන් ශානක කීවේය.
“අපි සැහැල්ලු පන්දු තරගයක් ක්‍රීඩා කළත්, ඒකෙත් පීඩනයක් තියෙනවා. වඩා වැදගත් වෙන්නේ අපි ඒ පීඩනය හසුරුවාගන්නේ කොහොමද කියන එකයි"
“අපි ඒකට කැමතියි. ඒකට සුදුසු ක්‍රීඩකයන් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම පිතිකරුවන්... ඒ හින්දා මම විශ්වාස කරනවා, මේ පීඩනයත් එක්ක අපට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා”'යයි දසුන් ශානක ඊයේ පස්වරුවේ පල්ලෙකැළේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමෙන් පසුව ඊළඟ තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයේ ලාහෝර් නුවර බලා යා යුතුව තිබේ. එය ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලබන 05 වැනිදා පැවැත්වෙන තරගයයි. නේපාලයට එරෙහිව පාකිස්තානයේ මුල්තාන් නුවරදී ඊයේ (30 වැනිදා) තරග කළ පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග කිරිම සඳහා අද (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත.
පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සෙනසුරාදා (02 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වෙයි.
එය තරගාවලියේ ස්වභාවය බවත් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව එවන් තත්ත්වයකට පත්ව ඇති නිසා ක්‍රීඩකයන් වශයෙන් තමන් ඒ තත්ත්වයට සූදානම් වී සිටින බවත් ශ්‍රී ලංකා නායකයා කියයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග කරන අවස්ථාවන්හිදී ප්‍රෙක්ෂකයන්ගෙන් කුමන ආකාරයේ ප්‍රතිචාර ලැබුණ නමුත් ක්‍රීඩකයන් වශයෙන් දෙපිලේම අය අතර ඇත්තේ මනා සබැඳියාවකි.
අද තරගයේදී දෙපිලේ නායකයන් ලෙස ප්‍රතිවාදීන් වුවද, සති දෙකකට ඉහතදී පවැති එල්.පී.එල් තරගාවලියේදී බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් සහ දසුන් ශානක දෙදෙනාම 'ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහ. මේ දෙදෙනාගෙන් සකිබ් අල් හසන් වඩාත් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාතික නායකයා වූවත්, එල්.පී.එල්. තරගාවලියේදී සකිබ් අල් හසන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක යටතේ ගෝල් ටයිටන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය.
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
0 Comments