dinesh-shasterkilled-jana-shakthi-president

පරීක්‍ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට භාරදී ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් අධිකරණයට ගෙන්වා, එම මරණය සිදු වූ හේතුව නිර්ණය කරගැනීම සඳහා විමර්ශනය කරන පංචපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලය වෙත

යොමු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රහස් පොලීසියට ඊයේ (22) නියම කළාය.



දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ අවස්ථාවේදී අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් විසින් ෂාෆ්ටර් මහතාගේ කාරය තුළ තිබී ගන්නා ලද ද්‍රව්‍ය සහ ඡායාරූපද, පංචපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට මහෙස්ත්‍රාත්වරිය රහස් පොලීසියට වැඩිදුරටත් නියම කළාය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළහ.

මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගන්නා ලද වට්ස් ඇප් පණිවුඩ අඩංගු දෘඩ තැටියක් තම සේවාදායිකාවට නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.



ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීම පිළිගනිමින් අදාළ දෘඩ තැටියේ පිටපතක් මරණකරුගේ බිරිඳට නිකුත් කරන්නැයි නියම කළාය. පැමිණිල්ල සැප්තැම්බර් 05වැනිදා යළි කැඳවීමටද නියම කෙරිණ.

බුද්ධිමාල් රුබේරු