අවුරුදු 14ක් වයසැති බාල වයස්කාර තම දියණිය ලිංගික අපයෝජනය සඳහා පුද්ගලයන්ට මුදලට විකුණු එම දැරියගේ මව යැයි පැවසෙන කාන්තාවක 10දා සවස අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය පවසයි.
එසේම එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසා සිටියි.
අපහරණයට පත් දැරියගේ පියා මියගොස් ඇති බවත්, සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයන් නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2,000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
අදාළ දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවත්, මව සිදුකරන එම අසම්මත ක්‍රියාවලිය ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට දැරිය විසින් මෙම සිද්ධිය පවසා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එසේම සැකකාර මව විසින් දැරියව මාස කිහිපයක සිට පුද්ගලයන්ට මුදලට විකුණා ඇති බව දැරිය පොලීසියට කළ ප්‍රකාශයෙන් අනාවරණය වී තිබේ.
වෛද්‍ය පරීක්‍ෂණය සඳහා දැරිය මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත්, සැකකාර මව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කළේය.
දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ගම්පන - ටෝනි කරුණානායක
0 Comments