drug-use-couple-remanded

බන්ධනාගාරගතව සිටියදී හෙරොයින් ජාවාරම් කර, රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ගිණුම්ගත කරගත් බව කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකු සහ ඔහුගේ බිරිය ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 7 දා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි ලියන අතුකෝරළගේ දොන් ක්‍රිෂාන්ත කිත්සිරි සහ සමන් පතිරණගේ අලංකා විමර්ශනි නමැති අඹුසැමි යුවළකි.



මෙම සැකකරු හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම සිදු කර, තිළිණි පෙරේරා යන අයකුගේ නමින් හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක රුපියල් හාර කෝටි අනූ ලක්ෂ තුන්දහස් හයසිය හැටපහක මුදලක් බැර කර ඇති බවට කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පසුව සොයා බැලීමේදී තිළිණි පෙරේරා යන නමින් කිසිවකු සොයාගත නොහැකි වූ අතර, එම ගිණුමෙන් මුදල් හුවමාරු වූ සැකකරුගේ බිරියගේ ගිණුම පිළිබඳව කරුණු අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ලද පැමිණිල්ලකට අනුව, පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සැක කටයුතු ගනුදෙනු වාර්තා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගරගත කර, එදින තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ