economic-crisis

රටේ සම්පත් විකුණා දැමීමෙන් හෝ ජනතාව මත පටවන බදු හෝ දඩ මගින් උපයා ගන්නා මුදලින් හෝ ලෝකයාගෙත් ලබාගන්නා ණය මුදල්වලින් දියුණු වූ රටවල් ලෝකයේ නැත. ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා සැපයීම් තුළින් උපයා ගන්නා ආදායම් වලිනි. එහෙත් අප රට තුළ තවදුරටත් සිදුවෙමින් පවතින්නේ ණය ලබාගැනීමෙන්, ජනතාව මත බදු බර හා දඩ බර පැටවීමෙන් මෙන්ම රටේ සම්පත් විකුණා දැමීමෙන් අදායම් උපයා ගැනීමය. ස්වාභාවික සම්පත් විශාල ප්‍රමාණයකට උරුමකම් කියන අප රට දියුණු කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගත යුතු නැත. අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පමණි. එහෙත් ගෙවී ගිය හැත්තෑ පස් වසරක කාලය තුළ සිදුනොවූ එකම දෙයත් මෙයයි. එබැවින් රට දිගින් දිගටම අර්බුදයේ පතුලටම ගමන් කරමින් තිබේ.

මෙරටේ දේශපාලනඥයන් ගතහොත් බලයේ සිටින විට රට සංවර්ධනය කිරීමට අදාළ දැනුම නැත. රට දියුණු කිරීමට උනන්දුවක් නැත. වැඩපිළිවෙළවල් නැත. රටේ අඩුපාඩු පෙනෙන්නේ නැත. ජනතාවට ඇහුම්කම් දෙන්නේ නැත. මේ නිසා රට දියුණු කිරීමට අදාළ කටයුතු, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළ කටයුතු කිසිවක් පාලන කාලය තුළදී සිදුනොවන අතර, සංදර්ශන නම් විශාල වශයෙන් පවත්වයි.

බලය අහිමි වී විපක්ෂයට ගිය පසු රටේ ප්‍රශ්න හොඳින් තේරෙන අතර, රට දියුණු කිරීමට රටේ ප්‍රශ්න හොඳින් තේරෙන අතර, රට දියුණු කිරීමට අදාළ වැඩපිළිවෙළවල් බොහෝ ඉදිරිපත් කරමින් ජනතා හඬට කන් දෙමින් විශාල අරගල කරයි. හැත්තෑ පස් වසරක් පුරා මාරුවෙන් මාරුවට සිදුවූයේ මෙයයි. එහෙත් මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට රට අගාධයට ඇද වැටී තිබේ. අඩුම වශයෙන් තමන්ගේ උත්සාහයෙන් වගාකටයුතු සිදුකරන ජනතාවට අවශ්‍ය අලය සපයාදෙන වැව් ටිකේ හෝ ජලාශවල රැදී තිබෙන රොන් මඩ ටික නිසි කලට ඉවත් කර, අදාළ ජල මූලාශ්‍රවල ජල මට්ටම නිසි ලෙස පවත්වාගෙන යාමටවත් පාලකයන්ට නොහැකි වී ඇත.

සති කිහිපයක කාලයක් වැසි නොලැබුණහොත් රටේ අති බහුතරයක් වගා භූමි විනාශ වී යන තැනට පත්වන අතර, අද දවස වන විට මෙම තත්ත්වය රටට උදා වී තිබේ. මෙය වසර කිහිපයකට වරක් ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත. එහෙත් අදාළ තත්ත්වයෙන් රට මුදා ගැනීමට වැඩපිළිවෙළක් නොමැතිකමින් ඊයේ (16දා) දිනය වන විට පවුල් 54984කට අයත් පුද්ගලයන් 183050ක පිරිසක් පීඩාවට පත්ව සිටිති. මෙම පිරිස් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලබයි. එහෙත් වගා කටයුතු සදහා අවශ්‍ය ජලය නොමැති වීම නිසා මෙම පිරිස් ඉදිරියේදී ආහාර හිගයකටත් මුහුණ දෙනු ඇති අතර, ආහාර වෙළෙද පොළට ලැබීම අඩු වීම නිසා පොදුවේ සමස්ත ජනතාවටම ආහාර හිගයකට මුහුණදීමට සිදුවනු ඇත. වසර කිහිපයකට වරක් මේ ආකාරයට වියළි කාලගුණයක් ඇතිවන අතර, මීට අමතරව ඇතැම් ප්‍රදේශවල යම් යම් කාලවලදි අධික ලෙස වැසි ඇතිවී ඇළ දොළ ගංගා පිටාර ගලා ගොස් ජනතාව පීඩාවට පත්කරයි.

ජලය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට අදාළව වැඩි විශ්වාසයක් තබාගෙන පාලකයන් කටයුතු කළත් අද වන විට ජල විදුලිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වී ඇත. වහල මත සවි කරන සූර්ය පැනල් මගින් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව පසුගිය කාලයේදී විශාල ලෙස මාධ්‍ය සංදර්ශන පැවත්වීමට කටයුතු කළ නමුත්, අදාළ වැඩපිළිවෙළ නිසි ලෙස අදටත් ක්‍රියාත්මක වන්නේ නැත. අහසින් වැටෙන ජලය ටික එක් රැස් කරගෙන අවශ්‍යතාවන්ට අනුව භාවිතයට ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තට්ටු මාරු දේශපාලනඥයත් මේ රට දියුණු කරතැයි සිතිය හැකිද? ප්‍රශ්නයක් ඇති වූ විට ඇමතිවරුන්ට හෝ දේශපාලනඥයන් එකට එකතු වී තීන්දු තීරණ ගැනීමටවත් නොහැකි වී තිබෙන බැවින්, ජනතාවට ප්‍රශ්නයක් ඇති වූ විට එකිනෙකාට චෝදනා කර ගනිමින් දේශපාලනඥයන් ප්‍රශ්නයෙන් පැන යාමට උත්සාහ කරයි.

අවසානයේදී අපට ඉතිරි වී තිබෙන්නේ ඩොලර් බිලියන 96කට අධිකණය බරකින් යුත් රටක් පමණි. මේ නිසා අද දවස වන විට රටේ සමස්ත ජනතාවම ණයකාරයන් බවට පත් වී තිබෙන අතර, ඒකපුද්ගල ණය ප්‍රමාණය මේ වන විට ආසන්න වශයෙන් රුපියල් මිලියනය ඉක්මවා ගොස් තිබේ. 2013 වසර වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය තුන්ලක්ෂ විසි එක්දහසක් වූ අතර, 2019 වන විට එම ණය ප්‍රමාණය හයලක්ෂ හතළිස් හයදහසක් බවට පත්විය. 2020 වසරේදී එම ණය ප්‍රමාණය හත්ලක්ෂ පනස් දහසක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව රට පාලනය කළ පාලකයන් රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට කිසිවක් සිදුකර නොමැති බවට තවත් උදාහරණ අවශ්‍ය නැත. පාලකයන් ජනතාව උගසට තබා ණය ලබාගෙන රට පාලනය කරමින් තිබෙන අතර, ජීවත් වීමට නිසි ආදායමක් නොමැති නිසා බොහෝ පිරිස් බැංකුවලින් ණය ලබාගෙන පෞද්ගලිකවත්  ණයකාරයන් බවට පත් වී ඇත. මේ නිසා ආර්ථික වශයෙන් තවදුරටත් මේ රට පවත්වාගෙන යාම පිළිබඳ ගැටලු ඇතිවී තිබෙන අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙලිකොම්, රක්ෂණ, වරාය හා අධිවේගී මාර්ග වැනි ලාභ උපයා ගන්නා ආයතන බහුජාතික සමාගම් වෙත පවරමින් තිබේ. රටක් වශයෙන් විකුණා දැමීමට හෝ බදු ලබාදීමට ඉතිරි වී තිබෙන අවසන් සම්පත් ටික මෙය වන අතර, මේ අනුව ඉදිරියේදී විකුණා දැමීමට හෝ බදු ලබාදීමට පාලකයන්ට කිසිවක් ඉතිරි නොවනු ඇත. අවසානයට පාලකයන්ට රට පාලනය කිරීම සදහා අවශ්‍ය මුදල් ටික සොයා ගැනීමට සිදුවන්නේ මේ රටේ ජනතාව කන බොන දෙයට බදු පිට බදු ගැසීමෙනි.

තවද විදුලි බල මණ්ඩලය හෝ ජල සම්පාදන මණ්ඩලය ඉතිරි වී තිබුණහොත් විදුලි බිල වැඩි කිරීමෙන් හෝ ජල බිල වැඩි කිරීමෙන් ආදායම් උපයා ගැනීමට අවස්ථාව තිබේ. විදුලි බිල අධික ලෙස ඉහළ දමා පසුගිය කාලයේදී සොච්චම් මුදලකින් අඩු කිරීමට කටයුතු කළ නමුත්, ජල බිල්පත් අධික ලෙස ඉහළ දැමීම නිසා විදුලි බිලෙන් ලැබුණු සහනයට වැඩි මුදලක් ජල බල වෙනුවෙන් අමතරව වියදම් කිරීමට ජනතාවට සිදුව ඇත. සීනි, පරිප්පු, කරවල, උම්බලකඩ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර මත යොදා තිඛෙන අධික බදු නිසා ජනතාවට වේලක් හැර වේලක් කෑමටවත් නොහැකි ලෙස අසරණ වී සිටිති. ඉන්ධන වර්ග මත අධික බදු මුදලක් යෙදවීම නිසා පුවාහන වියදම්ද ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මේ නිසා ප්‍රවාහන ක්ෂේත්‍රයත් අර්බුදයට ලක්වී තිබේ. ලොකු ලුනු, සීනි, කරවල, උම්බලකඩ, සහල්, අර්තාපල්, කිරිපිටි මෙරට තුළ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනයකර ගත හැකි වුවත්, මින් වැඩි කොටසක් විදේශ රටවලින් ගෙන්වීම සිදුකරයි.

මීට අමතරව පරිප්පු වෙනුවට භාවිත කළ හැකි මුංඇට, බඩඉරිඟු, කඩල පරිප්පු රට තුළ නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය සම්පත් තිබුණත්, ඉන්දියන් පරිප්පු ටික ගැන පමණක් විශ්වාසය තබා පාලකයන් කටයුතු කරයි.

පවතින බීජ හිගය, බීජවල මිල ඉහළ යාම, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ගොවියා කෘෂි කර්මාන්තයෙන් ඉවත්වන තත්ත්වයට පත්ව තිබේ. මේ අනුව මිරිස්, ලොකු ලූනු, අර්තාපල්, ගොවියාට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා එම පිරිස් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින අතර, බිත්තර කර්මාන්තයට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා බිත්තර කර්මාන්තය කඩා වැටී තිබේ. මේ නිසා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා අලෙවි කරන තැනට රට පත්වී තිබේ. තවද, කුකුල් මස් නිෂ්පාදකයන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා රට තුළ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1500 ඉක්මවා ගොස් ඇත. මේ නිසා කුකුල් මස් රට තුළට ගෙන්වීම පිළිබඳවත් කතාබහක් ඇතිවී තිබෙන අතර, ඉදිරියේදී කුකුල් මස් ටිකත් ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතව තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම නිසා ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින අතර, කිරි කර්මාන්තය පවත්වාගෙන යාමට පහසුකම් නොමැති වීම නිසා කිරි ගොවියාද ක්‍රමානුකූලව කිරි කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටී. තේ දළු මිල පහළ යාම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් කර්මාන්තයෙන් ඉවත්
 වෙමින් සිටින අතර, මේ හරහා ඉදිරියේදී අපනයන ආදායම අඩු වී රටට ලැබෙන විදේශ විනිමය තවදුරටත් අඩු වී යනු ඇත. තේ දළු කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 120ත් රුපියල් 130ත් අතර මුදලක් වැය වන විට තේ දළු කිලෝවක මිල රුපියල් 110 දක්වා පහත වැටී තිබේ. විදේශ රටවලින් ගෙන්වන තේ මෙරට තේ සමග කවලම් කර අලෙවි කිරීම නිසා මෙරට තේවලට පවතින ඉල්ලුම අඩුවී තිබේ. දළු මිල පහළ ගොස් තිබෙන නමුත් තේ වගාවට යොදන පොහොර මිල ඉහළ අගයක පවතින බව තේ ගොවීන් සඳහන් කරයි.

කරුංකා සඳහා ඉන්දියාවෙන් ලැබී තිබෙන කෝටාවට අදාළව විදේශ රටවලින් ගෙන්වන කරුංකා ඉන්දියාවට යවමින් මෙරට පුවක් වගාකරුවන්ට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි කරමින් තිබේ. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 80ත් 110ත් අතර මුදලක් වැය වුවත්, මේ වන විට වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 100ක මුදලකට බව ගොවි සංවිධාන සඳහන් කරයි.

අද වන විට රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කරමින් තිබෙන්නේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් වන අතර, රටේ තීන්දු තීරණ ගන්නා ස්ථානවල සිටින සමහර දේශපාලනඥයන්ද මහා පරිමාණ ව්‍යපාරිකයන් වේ. මේ නිසා ජනතාව විශාල දුෂ්කරතාවන්ට පත්ව සිටින අතර, ජනතාවගේ සුබසාධනයට අදාළව නිසි වැඩපිළිවෙළක් ඊට තුළ සකස් කර ගැනීමට නොහැකි වී තිබේ. මීට අමතරව රැකියා අහිමි වීම විශාල ලෙස සිදුවෙමින් තිබෙන අතර,
2018 වසරේ අග භාගය වන වන විට සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රීය ගිණුම් ලක්ෂ 29කට ආසන්න ප්‍රමාණයක් තිබුණ අතර, මේ වන විට එම ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා අඩු වී තිබෙන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ අනුව යම් රැකියා සුරක්ෂිතභාවයක් සහිතව සේවය කළ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයකට වසර පහක් තුළ රැකියා අහිමි වී ගොස් තිබේ. තවද සේවක අර්ථසාධක අරමුදල් නොමැතිව අනාරක්‍ෂිත ක්ෂේත්‍රවල සේවය කළ එනම් ඉදිකිරීම් හා විවිධ ස්ථානවල කම්කරු සේවාවල සේවය කළ පිරිස් හා කඩ සාප්පුවල, හෝටල්වල සේවය කළ ලක්ෂ ගණනකට රැකියා අහිමි වී ඇත.

භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සහ ජනතාවගේ ආදායම් අඩු වීම නිසා ජනතාවගේ මිලදී ගැනීම් ශක්තිය අඩු වී තිබෙන අතර, මේ නිසා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී ගොස් තිබේ. කර්මාන්ත වැසී යාමට සාපේක්ෂව විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙන අතර, රැකියාවක් සිදුකර ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකි වූ ජනතාවට රැකියාවක් අහිමි වූ පසු ඇතිවන තත්ත්වය ගැන සිතා ගැනීමටවත් නොහැකිය.



නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුවත්, රෝගී වුවහොත් අවශ්‍ය සම්පූර්ණ ඖෂධ ප්‍රමාණය රෝහල්වලින් ලැබෙන්නේ නැත. මේ නිසා තමන්ට අවශ්‍ය ඖෂධ පෞද්ගලික අංශයෙන් මිලදීගත යුතුය. එසේ නොමැති නම් සම්පූර්ණ ප්‍රතිකාර කටයුතු පෞද්ගලික අංශයෙන් ලබාගත යුතුය. නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක කළද දරුවෙකු පාසලකට ඇතුළත් කිරීමේ සිට උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වියදම් කිරීමට දෙමාපියන්ට සිදුව තිබේ.

හැත්තෑ පස් වසරක පාලකයන්ගේ වරදින් කඩා වැටී තිබෙන මේ රට ගොඩ ගැනීමට නම්, පාලකයන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, රාජ්‍ය සේවකයන්, වෘත්තීයවේදීන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති, වැඩකරන ජනතාව සියල්ලන්ම ඒකාබද්ධ කරගනිමින් වැඩපිළිවෙළකට යා යුතුය. අද දවස වන විට ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් නැති වුවත්, අදාළ තත්ත්වය ඇතිවී තිබෙන්නේ රට දියුණු වී රටේ ආර්ථිකය ශක්තිමත් වීම නිසා නොවන බව ජනතාව තේරුම්ගත යුතුය.

අද වන විට රට ලෝකයාගෙන් ගත් ණයවලට අදාළ වාරික ගෙවීම් නතර කර තිබේ. මේ නිසා රටේ ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්වලින්, දඩ මුදල්වලින්, රටේ සම්පත් බදු දීමෙන් ලබාගන්නා ආදායම් ප්‍රමාණයක් රට තුළ ඉතිරි වෙමින් තිබේ. මීට අමතරව ලෝකයේණය ලබාගැනීමට හැකි රටවල්වලින් තවදුරටත් ණය ලබා ගැනීමටත් කටයුතු කරමින් තිබෙන බැවින්, අද දවස වන විට පෝලිම්වල සිට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව පමණක් අපට අහිමි වී තිබේ. පෝලිම් නොමැති වුවත්, ගෑ ස්ටික, ඉන්ධන ටික, කිරිපිටි ටික, පාන් ගෙඩිය, ඛතිස් ගෙඩිය, සහල් ටික, පරිප්පු ටික, කරවල, උම්බලකඩ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ වැඩි මිලට බව ජනතාව මතක තබාගත යුතුය. මේ නිසා පෝලිම් නොමැති වීම පිළිබඳව කිසිවෙකුටත් සතුටු විය නොහැක. පවතින තත්ත්වය එකවර පුපුරා ගියහොත්, පසුගිය වසරට වඩා වැඩි අර්බුයකට රට පත් විය හැකිය. එබැවින් පාලකයන් පෙරමුණ ගෙන කටයුතු කළයුතු වන්නේ පසුගිය වසරේදී සිදුවූ අර්ථික අර්බුදයක් නැවත ඇති වීම වළක්වා ගැනීමටය.

 ඉන්දික හේවාවිතාරණ