esala-perahera-kataragama

කතරගම පෙරහරේ කරඬුව වැඩම කරන හස්තියා සමඟ වම් පසින් දෑලේ ගමන් ගත් අලියා පත්තිරිප්පුව ඉදිරිපිටට එන තෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැඟ දළදා විදියට ප්‍රවිෂ්ට වෙත් දී අලියා වැව අද්දර යකඩ වැටට එහායින් වාඩි වී පෙරහර නරඹමින් සිටි ජනතාව දෙසට හොඬය දාලා ඉව ඇල්ලුවා. ඒත් එක්කම එතන හිටිය ළමයෙක් පිඹින විට දිග ඇරෙන නළාවක් පිම්ඹා.

ඒකේ ශබ්දයත් එක්කම නළාවේ ඉදිරි කොටස අලියගේ හොඬ ඇඟිල්ලේ වැදුණා. අලියා බය වෙලා පැත්තකට හැරෙද් දී එයා ගේ ඔළුව කරඬුව වැඩම කළ අලියාගේ ඔළුවේ වැදුණා. ඒත් එක්කම කලබල වූ අලියා වීදිය දිගේ ඉදිරියට දිව ගියා යැයි මහනුවර ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහරේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අලියාගේ ඇත්ගොව්වා වන අශෝක චන්ද්‍ර සිරි මහතා පැවසුවේය.

මහනුවර පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් සිව් දෙනකු කලබලයට පත්විම සම්බන්ධයෙන් සොයා බැලීමට හා යළි එවැනි සිදුවීමක් නොවන්නට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (23) දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ ප්‍රධානත්වයෙන් පෙරහර සංවිධායක මණ්ඩලය හා ඇත් ගොව්වන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අශෝක චන්ද්‍රසිරි මහතා මේ බව ප්‍රකාශ කළේය.

දෙවන කුඹල් පෙරහරේ දී මුලින්ම කලබලයට පත්වුණේ ගල්මඩුල්ල පන්සලේ රත්න අලියායි. මේ අලියා අවුරුදු 25ක් පමණ අපරහරේ ගමන් කරනවා. කලබලයක් නැති කිසිම කෙනෙකුට හානියක් නොකරන සතෙක් මෙයා. වැව අද්දර දිගේ ජනතාව ඉටි කොළ එලාගෙන යකඩ වැට ළඟින්ම ඉන්නවා. ඒ පැත්තේ කෙළවරේ යන අලි හොඬය ඒ දෙසට යොමු කරනවා.

ඒ වෙලාවේ තමයි කුඩා ළමයා පිඹපු නළාවේ ඉදිරි කොටස හොඩ ඇඟිල්ලේ වැදුණේ. ඉදිරියට දිව ගිය අලියාගෙ පිටේ සිටි දෙන්නා ගෙන් එක් කෙනෙක් මම බස්ස ගත්තා. අනෙක් කෙනා පිහළට පැන්නා. කාටවත් මේ සිද්ධිය නිසා අනතුරක් වුණේ නැහැ, පෙරහර ආසන්නයේ ඉඳලා සමහරු නළා පිඹිනවා. තවත් අය ලේසර් කිරණ අල්ලනවා. ජංගම දුරකතනවල ෆැලෑසර් එක අල්ලනවා. මේවා නිසා සමහර අලි කලබල වෙනවා.

(අසේළ කුරුළුවංශ)