හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවකුට අයත් රුපියල් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා ජංගම දුරකථනයක් සොරාගත් එම වසරේම සිසුන් දෙදෙනකුගෙන් එක් සිසුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවකු බව පොලිසිය කියයි .

මම ජංගම දුරකථනය අස්ථානගතවී ඇති අතර ඒ පිළිබඳව පොලීසියට ලද පැමිණිල්ලකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ආවේශන රාජකාරියෙන් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.



එහිදී ජංගම දුරකථනය තාක්ෂණ පීඨයේ දෙවන වසරේම ඉගෙනුම ලබන සිසුවකු සොරාගෙන ඇති බවත් එහි මුරපදය ඉවත් කිරීම සඳහා තවත් සිසුවකුට දී ඇති අතර පසුව ඔහුගේ හිතවත් කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන බාහිර පුද්ගලයකුට රුපියල් 165,000 මුදලකට, අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

බාහිර පුද්ගලයා එම ජංගම දුරකතනය යළි අලෙවි කිරීම සඳහා මුහුණු පොතෙහි දැන්වීමක්ද පළ කර තිබේ.

එම දැන්වීම පිළිබඳව අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් උපාය දූතයකු යොදවා මුහුණු පොතේ දැන්වීම පළ කළ පුද්ගලයා හා සම්බන්ධ වී ජංගම දුරකථනය මිලදී ගන්නා මුවාවෙන් එහි වගකීම් සහතික පත ඉල්ලා තිබේ.



පසුව ඒ සඳහා දුරකතනයේ මුරපදය ඉවත් කළ සරසවි සිසුවා සම්බන්ධ කර ඇති අතර එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජංගම දුරකථනය සොරාගැනීමේ සිද්ධියේ තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

මෙම ජංගම දුරකථනය  සොරාගත් ප්‍රධාන සැකකරු වන විට සරසවියෙන් පිටතට නොපැමිණ එහි සැඟව සිටින බවත් ඔහු මීට පෙර සරසවිය තුළ සිදු වූ නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවකුට පහර දීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් පොලිසිය කියයි.



මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (50228) සමන්ත, පොලිස් කොස්තාපල් (8436) ප්‍රියංකර, (12230) සම්පත් ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.
 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න