facebook-tesla

ලොව බිලියනපතියන් දෙදෙනකු වන ඉලොන් මස්ක් සහ මාරික් සකර්බර්ග් ආත්මාරක්ෂක සටන් පුහුණු වෙමින් සිටින බවත්, දෙදෙනා අතර සටනක් ඉදිරි දිනයක පැවැත්වීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (7) වාර්තා කළේය. ඉලොන් මස්ක් යනු ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගම් මෙන්ම ට්විටර් සමාජ ජාලයේ ද හිමිකරුය. ෆේස්බුක් අයත් මෙටා සමාජ ජාලයේ හිමිකරු වන්නේ මාර්ක් සකර්බග්ය.

තමන් සකර්බර්ග් සමග ද්විත්ව සටනකට සුදානම් බවත්, එම සටන සජීවී ලෙස ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ පවසා  ඇත. ට්විටර් සමාගම පසුගියදා ඔවුන්ගේ නම එක්ස් ලෙස වෙනස් කළේය. පැවැත්වීමට නියමිත එම සටනින් උපයන මුදල හමුදා විශ්‍රාමිකයන්ගේ සුබසාධන කටයුතුවලට යොමු කිරීමට තමන් සුදානම් යැයි ඉලොන් මස්ක් පවසා ඇත. තමන් මෙන්ම සකර්බර්ග් ද ඊට එකඟ වනු ඇතැයි ද මස්ක් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. සටන එළැඹෙන අගෝස්තු 26 වැනිදා පැවැත්වීමට ඉලොන් මස්ක් යෝජනා කර ඇති නමුත්, සකර්බර්ග් තවමත් ඊට පිළිතුරක් ලබා දී නැත.

39 හැවිරිදි සකර්බර්ග් සහ 52 හැවිරිදි මස්ක් පසුගිය මාස කිහිපයේ කායවර්ධන ව්‍යායාම කරමින්, මිශ්‍ර ආත්මාරක්ෂක සටන් පුරුදු පුහුණු වූයේ එකිනෙකාට නොදෙවැනි අයුරිනි. දෙදෙනාට ලොව දක්ෂ ආත්මාරක්ෂක සටන්කරුවන්ගෙන් සටන් පුහුණුව ලැබුණි. මස්ක් මෙන්ම සකර්බර්ග් ද මේ වන විටත් විවිධ ආත්මාරක්ෂක තරගවලට ඉදිරිපත් වී පදක්කම් ද හිමි කරගෙන ඇත. ඒ අනුව, දෙදෙනාම දක්ෂ ආත්මාරක්ෂක සටන්කරුවන් ලෙස පිළිගැනෙති. සටන්කරුවන් දෙදෙනකු අතරේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් පැවැත්වීම අද ලොව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවකි. ඉලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් අතරේ සටනක් පැවැත්වුවහොත් එය අතිශය ජනප්‍රිය වනු ඇතැයි බොහෝදෙනාගේ අදහස වී ඇත.