france-sri-lanka-bond

ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහාය ලබා දෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සදහා සහාය දක්වන බවද එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී තහවුරු කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්තාව සනිටුහන් කරමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව පසුගිය දා ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල 75 වැනි සංවත්සරය සමරන මෙම අවස්තාවේ දෙරට අතර ද්විපාර්ශවික සබදතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ.



ජාත්‍යන්තර සබදතාතවන්හීදී ප්‍රංශයේ මැදිහත් වීම අගය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු- පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගයද අගය කර ඇත.

දේශපාලන,ආර්ථික , සංචාරක , දේශගුණික විපර්යාස , තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත කර ගැනීම පිළිබඳ නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල 75වැනි සංවත්සරය නිමිති කොට ගෙන දෙරට අතර සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම සදහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හදුනාගෙන තිබේ. සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සදහා අධ්‍යාපන ආයතනයේ පිහිටුවීම, සංවර්ධනය සදහා වූ ප්‍රංශ නියෝජිතයෙක් (AFD) ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගර ආශ්‍රිත මිනිස් ජාවාරම් මැඩපැවැත්වීමේ වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රයට ඇතුලත්ව ඇත.

ප්‍රංශය සාමාජිකත්වය දරන ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතීත්වය අතරතුර ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ.



තිරසාර අනාගතයක් සදහා වන ගෝලීය ප්‍රයත්නයන් සදහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකගතාවය ද මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡා වලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් " ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත , විස්තීරණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි. කොළඹ දී අපි එය තහවුරු කලා. අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබදතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු." යනුවෙන් සදහන් කර තිබුණි.

යුරෝපීය සහ විදේශීය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කලාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොන්- ෆ්‍රන්ස්වා පක්ටෙට්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන ෆේබියන් මැන්ඩන්, වලිඩ් ෆුක් සහ ජොසු සෙරෙස්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙනොයිට් ගයිඩ්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය කොන්සියුලර් ජෝනාස් බයාර්ඩ්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ෆ්ලෝරියන් කර්ඩිනොක්ස් යන මහත්ම මහත්මීහූ ප්‍රංශ දූත පිරිසට ඇතුලත් වූහ.

නවෝද්‍යා පවනි