galle-prison

ගාල්ල රිමාන්ඩ් ඛන්ධනාගාරයේ ඇති වූ හදීසී රෝගී තත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැදවියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සහ අලුතින් රැඳවියන් ඇතුළු කිරීම සති දෙකකට අත්හිටවූ බව මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ඊයේ (22) පැවැසීය.

  ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ වෙනත් ස්ථානවලට රැගෙන යෑම සති දෙකක කාලයකට අත්හිටුවා ඇති අතර, එම බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණයෙන් නියම කරන රැඳවියන් අගුණකොළපැළැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට තීරණය කර ඇති බව ද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.



බන්ධනාගාර රැඳවියන් මුණ ගැසීම සඳහා ඇති පහසුකම සීමිත පිරිසකට පමණක් ලබාදීමට ද බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම රෝගී තත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර, රැඳවියන් හත් දෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, රෝග ලක්ෂණ පෙන්නුම්කරන රැඳවියන් හත් දෙනකු බන්ධනාගාර රෝහලේ වෙන් කර ප්‍රතිකාර දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.රිමාන්ඩ් බන්ධනාගාරයට ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සියලුම නිලධාරීන් සහ නේවාසිකයන් පරීක්ෂා කර සියලු දෙනාටම ප්‍රතිජීවක ඖෂධ දී ඇති බවත් විශේෂයෙන්ම මුඛ ආවරණ පැලැඳ සිටින ලෙසට උපදෙස් දුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල බන්ධනාගාරයේ දී ඊයේ (22) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.



මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙසේද පැවැසීය.

“ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇති වූ මෙම හදීසි රෝගී තත්වයේ රෝග ලක්ෂණ ලෙස උණත් සමෙහි ආසාදිත බවත් පෙන්නුම් කරනවා. දැනට රැඳවියන් හත් දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව රැඳවියන් දෙදෙනකු 13 වන ඉරිදා සහ 20 වන ඉරිදාත් මියගියා. ඔවුන්ගේ මරණ පරීක්ෂණ පැවැත් වුණා. මරණ පරීක්ෂණයේ දී දුන්නේ විවෘත තීන්දුවක්. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රැඳවියන් හත් දෙනකු බන්ධනාගාර රෝහල තුළ වෙනම රඳවා තිබෙනවා. සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම සහ පිටතට රැගෙන යාම සති දෙකකට නවතා දැමුවා. රැඳවියන් අමුත්තන්ට පෙන්වීම සීමා සහිතව සිදු කෙරෙනවා. මේ වෙනකොට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 1023 දෙනකු රඳවා තිබෙනවා.

මුළු රටේම බන්ධනාගාරවල රැඳවියන් 28,300කට අධික පිරිසක් ඉන්නවා. හැම බන්ධනාගාරයකම රැඳවියන් වැඩිවීමෙන් තදබද තත්වයක් මතුවී තිබෙනවා යැයි ද කීය.

මේ අතර, මෙම රෝගී තත්වයෙන් මියගිය රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව බොහෝ විට බැක්ටීරියාවක් බවට සැක කෙරෙන බවත් එය තවමත් ස්ථීරවම තහවුරු කරගෙන නොමැති බවත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය යූ. සී. පී. පෙරේරා මහතා  පැවසීය. මියගිය මරණකරුවන්ගේ මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණීය මහත්මිය සහ තමා විසින් සිදුකළ බවත් මෙම මරණවලට හේතුව ස්ථිරවම තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණ සඳහා එම සිරුරු කොටස් ලබාගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

 ඩී.ජී. සුගතපාල