galle-prison

ගාල්ල ඛන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් ඇති බවත් මෙය මෙනින්ගොකොකල් නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත. පසුගිය දින කිහිපයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම රෝග ලක්ෂණ සහිත රැඳවියන් දෙදෙනකු දැනට මියගොස් ඇත.කරාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (21) සවස් වනවිට තවත් රෝගීන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ද වෛද්‍යවරු කියති.

මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර බව වෛද්‍යවරු පවසති. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛ්‍ය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙම රෝගය මාරාන්තික විය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ගාල්ල බන්ධනාගාරයේ සිට චර්ම රෝගී තත්වයක් සහ උ හේතුවෙන් රෝහල්ගත කර මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව බවට සැක කරන බැවින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එවැනි රෝග ලක්ෂණ ඇති රෝගීන් සමග කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස රෝහල් පාලනාධිකාරිය උපදෙස් ලබා දී තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපයේ රෝහලේ සිදු වූ මරණවලට හේතුව පිළිබඳ තමන් වෙත මෙතෙක් අවසන් වාර්තා ලැබී නැති බවය. වෛද්‍යවරුන් ඒ පිළිබඳ අවසන් වාර්තා ලබාදුන් පසු සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් දිය හැකි බවත් හෙතෙම පැවසීය.



කෙසේ වුව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට නිකුත් කර ඇති අභ්‍යන්තර  පණිවිඩයකින් කියැවෙන්නේ බන්ධනාගාරයේ දී රෝගාතුර වී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව බවය. මේ සම්බන්ධයෙන් විමසීමට ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට දුරකතනයෙන් කතා කළ ද ඔහු සම්බන්ධකරගත නොහැකි විය. බන්ධනාගාරයේ ප්‍රකාශකයකු අප සමග කියා සිටියේ හදිසියේම රැඳවියන් කිහිපදෙනකු රෝගාතුරවීම සහ දෙදෙනකු මියයාමට හේතුව විෂබීජයක් බවට අදහසක් තිබුණ ද ඒ ගැන ස්ථිරවම කිසිවක්  නොදන්නා බවය.
සිරංගිකා ලොකුකරවිට