gammanpila-speaks

ප්‍රංශ ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවසර ඉල්ලා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.



එමගින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ හදිසි සංචාරයට හේතු වූ රහස හෙළිවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. මේ පැමිණෙන්නේ ප්‍රංශය නොවන බවත්, නේටෝ ගිවිසුම හරහා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බටහිරට නායකත්වය දෙන ඇමෙරිකාව බවත් ඔහු සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (16දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දීය.



මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "අපට තිබෙන තොරතුරු අනුව ආරක්ෂක අමාත්‍යාංශය නිරීක්ෂණ ඉල්ලුවාම නාවික හමුදාව බොහොම ඉහළින් ඒක අනුමත කරලා. ජාතික බුද්ධි සේවාව නම් මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා විරෝධය පළ කරලා තිබෙනවා. එක පැත්තකින් ඉන්දු-ලංකා සබඳතාවලට අහිතකරව බලපාවි කියන එක. අනික් පැත්තෙන් මේක නරක පූර්වාදර්ශයක් වෙලා ඇමෙරිකාව, චීනය, එක්සත් රාජධානිය වගේ අනෙකුත් බලවතුන්ටත් කඳවුරු හදා ගන්න ඉඩ දෙන්න වේවි.

ඒ නිසා ලෝක බලවතුන් එකිනෙකා ගැටෙන පුංචි ලෙඛනනයක් බවට ලංකාව පත්වේවි කියන එකයි බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ. අපි දකින විධියට මේ එන්නේ ප්‍රංශය නොවේ. නේටෝ ගිවිසුම හරහා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බටහිරට නායකත්වය දෙන ඇමෙරිකාව. යුද විශේෂඥයන් කියන විදියට ඉදිරි සියවසේ ලෝකයේ බල කේන්ද්‍රය වන්නේ ඉන්දියානු සාගරය. මේක හඳුන්වන්නේ ආසියාවේ සියවස කියලා.

ලොව නැගී එන සුපිරි බලවතුන් වන්නේ චීනය සහ ඉන්දියාව. එහි දී ඉන්දියානු සාගරයේ හරි මැද පිහිටි ලංකාව ලෝකයේ වැදගත්ම රට බවට පත් වෙනවා. ඒ නිසා ලංකාව තුළ පදනමක් හදා ගන්න ලෝකයේ සෑම සුපිරි බලවතකුටම උවමනායි. ඇමෙරිකා එක්සත් ජනපදය 2016 දී ඇක්සා, සෝෆා සහ එම්පීසී ගිවිසුම් හරහා ලංකාවට ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් අපි ස්ටොප් යූඑස්ඒ සංවිධානය බිහි කරලා ඒක වැළැක්වූවා. මේ රටේ දේශප්‍රේමීන් ඇමෙරිකාවට දක්වන දැඩි විරෝධය නිසා ඇමෙරිකාව දැන් හදන්නේ ප්‍රංශ වෙස් මුහුණ බැඳගෙන ඇවිත් අප රවට්ටන්නයි. ඒ හැර ප්‍රංශයට ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තාර්කික හේතුවක් නෑ.වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ කියලා අපි ඇමෙරිකාවට කියමු.” යනුවෙන් ද කීවේය.
- නවෝද්‍යා පවනි