ganemulla-sanjeewa-house-threat

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව සමරරත්න හෙවත් 'ගණේමුල්ලේ සංජීව' නමැත්තාගේ නිවසට ඊයේ (25) අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.

ගණේමුල්ල  මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි ගණේමුල්ලේ සංජිව නමැති පාතාල නායකයාගේ නිවසට මෙසේ කළ වෙඩි තැබීමෙන් නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සංජීව නමැත්තාගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 T 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැඳීමෙන් නිවසේ බිත්තිවලට සහ නිවසට ඇතුළු වන ගේට්ටුවට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාර තිහකට ආසන්න ප්‍රමාණයක් නිවසට එල්ල කර ඇති බවත් හිස් පතරොම් කොපු නිවස පරිශ්‍රයේ තිබියදී පොලිස් නිලධාරීන් සහ ගම්පහ කොට්ඨාස අපරාධ පරික්ෂණාගාර නිලධාරීන් සොයා ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ගණේමුල්ලේ සංජීව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකු බවත් විදෙස් රටක සිට ලංකාවේ අපරාධ මෙහෙයවන අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

 එම නිවසට වෙඩි තැබිම ප්‍රතිවාදී පාතාල කල්ලියක් විසින් සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවක් එම නිවසට සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය ද පරීක්ෂාවට ලක් කළ බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ටෝනි කරුණානායක

ganemulla-sanjeewa-house-threat