government-service-leave-process


ජ්‍යේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් සිදුනොවන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය නිවාඩු ලබාගැනීමට තිබූ අවස්ථාව මේ වනවිට අහිමි කර තිබෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.



පසුගිය මස 13වැනිදායින් පසු මේ ආකාරයට නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයන් නැවත සේවයට වාර්තා කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය අහිමි වන බවද එම එකමුතුවේ සාමාජික ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සේවා මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.



ජ්‍යෙෂ්ඨත්වය අහිමි වී යාමත් සමග අඩු විශ්‍රාම වැටුපක් හිමි වන බවත්, මේ නිසා විදේශ රැකියා හා දේශීය රැකියා හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන පිරිස්වලට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය.

පසුගිය මස 13වැනිදාට පෙර විදේශීය හෝ දේශීය නිවාඩු ලබාගත් පිරිස් සඳහා කිසිදු හානියක් සිදුනොවන බවත්, මේ නිසා එදිනෙන් පසු මේ දක්වා නිවාඩු ලබාගෙන තිබෙන හෝ නිවාඩු ඉල්ලුම් කර තිබෙන පිරිස්වලට මෙම නීතිය ඉවත් කළ යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවයකයන්ට හිමි මෙම වරප්‍රසාද අහිමි කිරීම තුළින් විදේශගත වන හෝ දේශීය කටයුතු සඳහා යොමුවන රාජ්‍ය නිලධාරීන් නැවත රාජ්‍ය සේවයට එක් නොවිය හැකි බවත්,

මේ තුළින් රාජ්‍ය සේවය දැඩි අර්බුදයකට ලක් වන බවත් හෙතෙම පවසා සිටියේය.

ඇතැම් පිරිස් මේ ආකාරයට නිවාඩු ලබාගෙන වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකර නැවත රාජ්‍ය සේවයට පැමිණි ලබාගත් දැනුම් උපයෝගී කර ගනිමින් රටට සේවය කරන බවද ලේකම්වරයා පැවසීය.

  ඉන්දික හේවාවිතාරණ