grandpass-lover-murder

සිය පෙම්වතිය මුණ ගැසීමට පැමිණ ග්‍රෑන්ඩ්ස් හි පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණයෙන් පසුගිය 13 වෙනිදා බිමට පැන සියදිවි හානිකර ගත්තේ යැයි කියන තරුණයාගේ මරණය සියදිවි හානිකර ගැනිමක් නොව, බිහිසුණු මිනිස් ඝාතනයක් බව හෙළිකරගන්නට මිහිජන සෙවණ පොලිසිය සමත්ව තිබේ. ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ සැකකරුව පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.
නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේදී පෙම්වතියගේ නිවසේදී  ඔහුගේ ගෙල සිරකර මරා සිරුර ඉහළ මහලේ සිට බිමට දමා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මෙම මරණය මිනිස් ඝාතනයක් බව හෙළිවන විට එම මරණය සියදිවි හානිකර ගැනීමක් සේ සලකා මාදම්පිටිය සුසාන භූමියේදී අවසන් කටයුතු ද කර තිබී ඇත. උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අධිකරණයට කරුණු දක්වා නැවත මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන බවය,
මෙසේ ඝාතනය වී ඇත්තේ පෑලියගොඩ කෙල්ලිගහවත්තේ පදිංචි ජේ. මධුසංඛ නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි. ඇගේ පෙම්වතිය 19 හැවිරිදි තරුණියක් බවත් ඇය ද අයිස් සහ පෙති භාවිතයට ඇබ්බැහි වී සිටින බව පොලිසිය කියයි. එම පෙම්වතිය වසර දෙකක කාලයක් පරිවාස භාරයේ ද සිටි තැනැත්තියක් බව විමර්ශනයේදී අනාවරණය වි ඇත.
මෙම තරුණියගේ මව විදෙස්ගතව සිටින බවත් රන්දිය උයනේ 10 වැනි මහලේ නිවසේ ඇය පදිංචිව සිටින්නේ 18 හැවිරිදි සහෝදරියක වැඩිමල් සොයුරියගේ දරුදෙන්නෙකු හා මිත්තනිය සමඟ බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. නිවසේ තවත් වැඩිමල් සහෝදරියකද සිටින නමුත් මේ කාලයේ ඇයද විදෙස් ගතව සිටී. විදෙස් ගතව සිටින සොයුරියගේ විවාහයේ දරුදෙන්නෙකුද මෙම නිවසේ සිටී.

18 හැවිරිදි සහෝදරිය ගැබිනියක් බවත් ඇගේ දරුවාගේ පියා කවුරුන්දැයි කියාවත් ඇය නොදන්නා බව පැවසේ. රට සිටින  වැඩිමහල් සහෝදරියගේ  නිෆ්ලාන් නැමැති 26 හැවිරිදි අනියම් සැමියා ලෙස සිටි තරුණයෙක් නිතර එම නිවසට තවමත් යන එන බවත් ඔහු ද අයිස් මත්ද්‍රව්‍යට හදින්ම ඇබ්බැහි වී සිටින බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සහෝදරියගේ අනියම් සැමියා සමඟ ද මෙම තරුණිය සම්බන්ධයක් පවත්වන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ඝාතනය වූ තරුණයා පසුගිය 12 වෙනිදා රාත්‍රී කාලයේ මෙම නිවසට පැමිණ ඇති බවත් ඒ පැමිණෙන විට පෙම්වතිය මත් පෙති පානයකර අවසිහියෙන් මෙන් සිට ඇති බව විමර්ශන වලින් අනා වරණය වී තිබේ. ඝාතනය වූ තරුණයා පැමිණ ඇත්තේ ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතකරය.

ඒ එන විට පෙම්වතියගේ සහෝදරියගේ අනියම් සැමියා ද සිට ඇත්තේ එම නිවසේය. පෙම්වතියට පෙති ලබාදී ඇත්තේ සහෝදරියගේ අනියම් සැමියාය. ඒ ගැන දැන ගත් තරුණයා සහෝදරියගේ අනියම් සැමියා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන පහර කිහිපයක් එල්ලකර ඇති බව පොලිසිය කියයි. එහිදී සහෝදරියගේ අනියම් සැමියා ඔහු නිතර ගෙලෙහි එල්ලාගෙන සිටින සාලුව ගෙන මෙම තරුණයාගේ ගෙල සිරකර මරා දමා ඇති බව පොලිසිය කියයි.
එසේ ඝාතනය කළ තරුණයාගේ සිරුර 13 වෙනිදා අලුයම් කාලයේ දී 10 වෙනි මහලින් බිමට දමා ඇත්තේ ඔහු ඉහළ මහලින් බිමට පැන සිය දිවි හානි කරගත් ආකාරයකටය. මෙහිදී සහෝදරියගේ අනියම් සැමියා ඝාතනය වූ තරුණයාගේ පෙම්වතියට තර්ජනයකර ඇත්තේ මේ ගැන කිසිවෙකුටත් කියා හසුවුවහොත් ඇයවත් මරා දමන බවය. ඒ වන විට නිවසේ සිටි සෙසු අය මේ කිසිවක් දැන සිට නැති බව ද මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
සිරුර බිම වැටීමෙන් පසු රන්දිය උයන නිවාස සංකීර්ණයේ පහළ මහලේ සිටින පිරිස් විසින් කොළඹ ජාතික රෝහලට සිරුර රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. මෙම මරණය ගැන තොරතුරු මිහිජන සෙවණ පොලිසිය දැනගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලින් කළ දැනුම්දීමකිනි. ඒ අනුව මෙම මරණය ගැන විමර්ශන පැවැත්වීමේදී ඝාතනය වූ තරුණයාගේ පෙම්වතිය පොලිසියට පවසා ඇත්තේ සිය පෙම්වතා 10 වෙනි මහලින් බිමට පැන සියදිවි හානි කර ගත් බවය.
මෙම මරණය ගැන මුල් අවස්ථාවේදී කිසිවෙකුත් සැකයක් නැතැයි පැවසීම හේතුවෙන් එය සියදිවි හානිකර ගැනීමක් සේ සලකා අවසන් කටයුතු කර තිබේ.


මේ අතර ඝාතනයට ලක් වූ තරුණයාගේ ඥාතියෙකු මිහිජන සෙවණ පොලිස් ස්ථානයට පැමිණ පවසා ඇත්තේ මෙම මරණය ගැන සැකයක් පවතින බවය. එහිදී ඔහු එම තරුණයා මහල් නිවාස පාමුල බිම වැටී මියගොස් සිටි ඡායාරූප කිහිපයක් ද පොලිසියට පෙන්වා තිබේ. එම ඡායා රූප ඔහුට ලැබී ඇත්තේ නිවාස සංකීර්ණයේ පදිංචි අයෙකු මගිනි. එදා එම තරුණයාගේ සිරුර බිම වැටි තිබෙන විට ජංගම දුරකතනයකින් එම ඡායාරූපය ගෙන තිබී ඇත. එම ඡායාරූපවල තරුණයාගේ ගෙලෙහි සාලුවක් එතී තිබී ඇත. එම සාලුව ඝාතනය වූ තරුණයාගේ ගෙලට ආ හැටි සොයා බැලිය යුතු බවත් සාලුවෙන් ගෙල සිරකර ඔහුව ඉහළ මහලින් බිමට දමා ඇති බවට සැක කරන බවත් තරුණයාගේ ඥාතියා පොලිසියට පවසා තිබේ.
මෙම සැකය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් මිහිජන සෙවණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස මල්දෙණිය මහතා විමර්ශනයක් ආරම්භ කරමින් මියගිය තරුණයාගේ පෙම්වතිය පොලිසියට ගෙන්වාගෙන ඇගේ පෙම්වතාගේ මරණය ගැන දීර්ඝ ලෙස ඇගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඇය එකිනෙකට පරස්පර කතා කියන්නට වූ බැවින් තරුණයාගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් නොවන බවට වූ සැකයට පොලිසිය එළඹ තිබුණි. ඒ අනුව ඇගෙන් එතැන් සිට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රශ්න කර ඇත්තේ උපක්‍රමශීලීව හැම ඇත්තක්ම ඇගේ මුවින්ම එළියට ගනිමිනි. ඇගේ පෙම්වතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොවන බවත් සහෝදරියගේ අනියම් සැමියා විසින් ඔහුව මරා 10 වෙනි මහලින් බිමට දැමූ බවත් ඒ ගැන කිසි- වෙකුටත් පැවසුවොත් තමාට ද සිදුවන්නේ එවැනි ඉරණමක් බවට කළ තර්ජනයත් ගැන ඇය එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය.
ඇගේ එම ප්‍රකාශයට අනුව පොලිසිය ඇගේ සහෝදරියගේ අනියම් සැමියා වූ නිල්ලාන් ව පෙරේදා (22) අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ඔහු ද හැම දෙයක්ම කී බව පොලිසිය කියයි.
ඒ අනුව ජේ. මධු සංඛගේ ඝාතනය සියදිවි හානිකර ගැනීමක් නොව, මිනිස් ඝාතනයක් බව අනාවරණය වූ බවත් මළ සිරුර ගොඩගැනීමෙන් අනතුරුව කෙරන පශ්චාත් මරණ පරික්ෂණයේදී ඒ බව වැඩිදුරටත් තහවුරුකර ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ