hanpangoda-incident

අතුරුදන්ව සිට දින දෙකකට පසු සිරුර හමුවූ ඉංගිරිය,හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ මරණය ගෙල මිරිකීමෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඉංගිරිය පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක, නිරියගල්ල පදිංචිව සිටි පල්ලිය බැදිගේ ප්‍රේමදාස නමැති 69 හැවිරිදි විවාහකයෙකි.

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේම නැවතී සේවය කරන අතර ඉකුත් 7 වැනි සඳුදා පෙරවරු 10.30ට පමණ සිට හිටිහැටියේ අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු පිළිබඳව සොයා බැලුවද කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි ද පොලිසිය කියයි.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය වත්තට ගොස් එහි තිබෙන පොල් ගස්වල පොල් වැටී ඇද්දැයි සොයා තම වත්තේ පිහිටා තිබෙන කැලෑවෙන් වටවූ වතුර නොමැති අනාරක්ෂිත ළිඳ තුළට එබිකම් කර බැලීමේදී පුද්ගලයකුගේ පාදවල යටි පතුල් දිය මතුපිට පෙනෙන්නට තිබී ඇති අතර, අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලිසියට දැනුම් දී ඇත. අනතුරුව හොරණ අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මියගේ නියෝග මත මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට ගෙනැවිත් තිබේ.



පෙරේදා (10) එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනිත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා, මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල  නොවන බවත්, ගෙල සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

නිමාලි කහවල