high-level-road-motor-cycle

මහජන පීඩාවක් ඇතිවන පරිද්දෙන් අපරික්ෂාකාරී ලෙස අනවසරයෙන් හයිලෙවල් මාර්ගය භාවිතා කොට යතුරුපැදි තරග පැවැත් වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවි සිසුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.

යතුරුපැදි හතරක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව, කොලොන්නාව , කැලණිය හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි සිවුදෙනකු බව පොලිසිය කියයි.



මහරගම ටන්කබොඩ් හන්දිය හා පන්නිපිටිය හන්දිය අතර හයිලෙවල් මාර්ගයේ ඉකුත් 26 වැනිදා අලුයම විවිධ මාදිලියේ යතුරුපැදි භාවිත කරමින් තරගයක් පවත්වා තිබේ.

ඉන් අවට ප්‍රදේශවාසීන්ට දැඩි බාධා එල්ලවීම හා එහි පවතින අනතුරුදායක තත්ත්වය නිසා අසල්වාසීන් මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ජංගම රාත්‍රී සංචාරයේ නිරත නිලධාරීන් හා රථවාහන අංශයේ නිලධාරීන් සමඟ එක්ව ක්ෂණිකව ක්‍රියාත්මක වී හයිලෙවල් මාර්ගයේ ටන්කබොඩ් හන්දියේ හා පන්නිපිටිය හන්දියේ එක්වරම මාර්ග බාධක යොදා වැටලීමක් සිදුකර තිබේ.

එහිදී යතුරුපැදි රේස් ගිය යතුරුපැදි හතරක් පැදිකරුවන් හතර දෙනකු සමඟ කොටුකර ගැනීමට හැකි වූ බවත් ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉගෙනුම ලබන සිසුවකු සිටි බවත් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ ආරාධනයෙන් මෙම ප්‍රදේශයට පැමිණ මොවුන් මෙසේ යතුරුපැදි රේස් පැද ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගැනුණ සැකකරුවෝ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල මහතාගේ මෙහෙය වීමෙන් සැරයන් (42892) වීරසිංහ, (68977) කමල්, (9854) හේවානායක, පො.කො ( 103858) ගජනායක, කොස්තාපල් රියැදුරු (98992) කුමාර ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න