homagama-fire-air

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් කර්මාන්ත ශාලාවෙන් පෙරේදා (23) රාත්‍රි හදිසියේ විෂ දුමාරයක් පරිසරයට නිකුත් වී තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

පළමු වරට පෙරේදා (23) 5.30ට පමණ මෙම දුමාරය හටගෙන තිබූ අතර රාත්‍රී 8.00ට පමණ දුමාරය වැඩිවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ බලධාරීහු අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගත්හ.

ඒ අනුව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ ඒකකය,

යුද හමුදාව හා පොලීසිය පැමිණ පැය දෙකකින් පමණ දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලීසිය කියයි.

මෙදින දුමාරයක් පමණක් හටගෙන තිබූ අතර ගිනි ගැනීමක් වාර්තා නොවුණි. ප්‍රදේශය පුරා ක්ලෝරීන් මිශ්‍ර දුගඳක් වහනය වෙමින් තිබූ බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම විෂ දුමාරය හදිසියේ හට ගැනීමට හේතු වී ඇත්තේ පෙරදා වැසි ජලය පිළිස්සී දැවී විනාශ වී තිබූ ක්ලෝරීන් මතට පතිත වීම බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී දුමේෂ් කලංසූරිය මහතා පැවසීය.



ඒ තුළින් නිකුත් වූ විෂ දුමාරය කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශය පුරා පැතිර යනු දක්නට ලැබුණු අතර පසුව බැකෝ යන්ත්‍ර භාවිත කරමින් දුමාරය හටගෙන තිබූ ස්ථානවලට, වැලි දමා ඒ මත තහඩු දමා වසා දුමාරය පාලනය කිරීමට පියවර ගත් බව ස්ථාන භාර නිලධාරී දුමේෂ් කලංසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හෝමාගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රියශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න