homagama-incident

හෝමාගම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ යළි නිවස බලා ත්‍රිරෝද රථයෙන් යමින් සිටි පුද්ගලයකුට කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදු කළ මත්තේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු සහ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරුවන් අපරාධය සඳහා යොදාගත් යතුරුපැදියක් සහ කඩුවක්, මන්න පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ. තුවාල ලද පුද්ගලයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර ඔහුට අයත් මීගොඩ ප්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සෑදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු හෝමාගම පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පසුගියදා පැමිණිලි කර තිබිණි.



එම පැමිණිල්ලට අදාළව මෙම මස 8 වැනිදා දෙපාර්ශ්වය පොලිසිය වෙත කැඳවා තිබූ අතර පැමිණිලිකරු පමණක් එදින පොලිසිය වෙත ගොස් තිබිණි.වග උත්තරකරුවන් නොපැමිණි හෙයින් ඔහු යළි නිවස කරා පැමිණෙමින් සිටියදී අධිවේගී පිවිසුම ආසන්නයේ ගලවිලවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා මග හරස් කර ඔහුට තියුණු ආයුධවලින් හිස ප්‍රදේශයට පහර දීමට උත්සාහ කිරීමේ දී තුවාලකරු එය අත අල්ලා වළක්වා ඇති අතර එහිදී ඔහුගේ වම් අතට බරපතළ තුවාල සිදු වී තිබුණි.අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබා දුන් උපදෙස් අනුව සිදුකළ විමර්ශනවලදී පොලිස් කොස්තාපල් (76495) ක්‍රිෂාන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.



ඒ අනුව හිටපු හමුදා සෙබළා පන්නිපිටිය බ්‍රහ්මණගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අපරාධය සඳහා පැමිණි අනෙක් සැකකරු වන මත්තෙගොඩ ලොල්ලා නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ පාතාල සාමාජිකයකු වන හෝමාගම ගගන සන්තක මාර්ගයෙන් මත්තේගොඩ ලොල්ලා තැනැත්තාට මත්තේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලද කොන්ත්‍රාත්තුවක් අනුව මෙම අපරාධය සිදු කළ බවට අනාවරණය වී ඇත. එය සඳහා පැමිණි හිටපු හමුදා සෙබළාට රුපියල් 20,000ක මුදලක් ලබාදී තිබූ බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. මෙම අපරාධය සැලසුම් කළ තවත් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ