homagama-lawyer

නීතිමය ලියවිල්ලක් සැකසීමට ප්‍රමාද වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරියකට බැන තර්ජනය කොට පහර දීමට තැත් කළ පුද්ගලයකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව ද පොලිසිය කියයි. හෝමාගම අධිකරණය ආසන්නයේ නීතිඥ කාර්යාලයක් පවත්වාගෙන නීතිඥවරියකට ලියැවිල්ලක් සකස් කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර සැකකරු බාරදී ඇති අතර ඒ සඳහා අත්තිකාරම් මුදලක් ද ලබා දී ඇතැයි පැවැසේ.



පොරොන්දු වූ පරිදි එම ලියවිල්ල සකස් කිරීමට නීතිඥවරියගේ පාර්ශ්වයෙන් වූ ප්‍රමාද වීම සම්බන්ධයෙන් දින කිහිපයක් පැමිණ නීතිඥවරියගෙන් විමසා ඇති අතර ඒ ලියැවිල්ල සකස් කිරීමට ප්‍රමාද වන්නේ  නම් තමා ලබාදුන් අත්තිකාරම් මුදල නැවත ලබා දෙන ලෙස සැකකරු ඉල්ලා තිබේ. එහෙත් අත්තිකාරම් මුදල යළි ලබාදීම හෝ ලියවිල්ල සකස් කිරීම ප්‍රමාද වීම නිසා සැකකරු 08 දා උදෑසන නීතිඥවරිය රැඳී සිටි කාර්යාලයට පැමිණ බහින්බස් වීමක් ඇතිකරගෙන ඇති අතර පසුව සැකකරු තමාට අපහාස වන අන්දමින් බැණ තර්ජනය කොට පහර දීමට තැත්කොට පලාගිය බව නීතිඥවරිය පැමිණිලි කර තිබේ.



ඒ සම්බන්ධයෙන් නීතිඥවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධියෙන් පැය කිහිපයකට පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න