පුද්ගලයන් දස දෙනෙකුට හොංකොං රටේ රැකියා ලබා දෙන බව පවසා එක් අයෙකුගෙන් රු. 1,175,000.00 බැගින් ලබාගෙන ඔවුන් සියලු දෙනා ඉන්දියාවට කැඳවාගෙන ගොස් එහි අතරමං කර මෙරටට පැමිණ සැඟවී සිටි බව කියන ප්රධාන සැකකරු මේ මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා 01දා පස්වරුවේ නියෝග කළේය. වරකාපොළ ප්රදේශයේ පදිංචි මොහොමඩ් තයිප් මොහොමඩ් ඉස්මත් නමැත්තකු එසේ රිමාන්ඩ් කෙරිණ.
දංඕවිට පොලිස් වසමේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු, පස්යාල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු හා තවත් පුද්ගලයන් හයදෙනෙකුගේ මුදල් වංචා කර සැඟවී සිටියදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
දංඕවිට පොලීසියේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර වෑත්තෑව මහතා කරුණු දක්වමින් එම ප්රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට හොංකොං රටේ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගෙන ඔවුන් දිවයිනේ තවත් පුද්ගලයන් හත්දෙනෙකු සමග ඉන්දියාවට රැගෙන ගොස් එහි අතරමං කර මෙරටට පැමිණ සැඟවී සිටියදී ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය බලවත් පරිශ්රමයක් දරා ඔහු අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.
ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්. ඒ. එස්. එල්. ගුණසේකර මහතා කරුණු දක්වමින් මුලින්ම පස්යාල ප්රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීමේදී මේ මහා පරිමාණ හොර ජාවාරම හෙළි වූ බව කියා සිටියේය.
මොහුට මේ හොර ජාවාරම කිරීම සඳහා ආධාර අනුබල දී ඇති පුද්ගලයන් සිදෙනෙකු මෙයට පෙර අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු හොර ජාවාරමේ ප්රධානියා බවත් පොලිස් සැරයන්වරයා කීය.
දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකම මොහුට එරෙහිව පැමිණිලි ගණතාවක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කෙරිණ. දංඕවිට පොලීසිය මගින් ගොනු කර ඇති නඩුව නැවත කැඳවීම මේ මස 08 වනදාට කල් තැබිණ. ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවරා ඇති නඩුව මේ මස 10වනදාට කල් තැබිණ. දංඕවිට පොලීසියේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර වෑත්තෑව හා ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්. ඒ. එස්. එල්. ගුණසේකර යන මහත්වරු පැමිණිලි මෙහෙය වූහ.
වාරණ- ආනන්ද ජයකොඩි
0 Comments