horana-incident

සිය බිරිය රැකියාවට යන බව පවසා අනියම් සැමියා සමග ගොස් ත්‍රිරෝද රථයක සිටිනු දැකීමෙන් උරණ වූ සැමියා අනියම් සැමියාගේ බව කියන ත්‍රීරෝද රථයට ඊයේ (02) උදේ ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයට ගිනි තැබූ බව කියන එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බිරිය හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බවත්, ඇය පෙරේදා (01) පොහොය දින සේවයට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවල දී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.ඒ පිළිබඳව සැක සිතී සැකකාර සැමියා පෙරේදා (1) අලුයම සිට එම කර්මාන්ත ශාලාව ආසන්නයේ රැඳී විපරම් කරමින් සිට ඇති අතර, ඇඟලුම් කර්මාන්ත ශාලාව ආසන්නයේ මාර්ගයක ත්‍රිරෝද රථයක බිරිය තවත් පුද්ගලයකු සමග සිටින බව ඔහු දැක ඇති බව සැකකරුගේ ප්‍රකාශ අනුව පෙනී යන බව පොලිසිය කියයි.

සැමියා පැමිණෙන දුටු බිරිය අනියම් සැමියා බව කියන පුද්ගලයා ද සමග දිවගොස් ඇති අතර,

උරණ වූ සැකකරු බිරියගේ අනියම් සැමියාට පහර දී ත්‍රීරෝද රථයට ද ගිනිතබා සම්පූර්ණයෙන් විනාශකර ඇති බවද පොලිසිය පවසයි. ඇයද එම ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.  හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට  සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතය. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. එස්. පනාවල මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ඩී.එල්. අබේසිරි මහතාගේ මේ පිළිබඳ පරීක්ෂණ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සුමිත් පොතුපිටිය