hot-weather-effect

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වී, එළවළු, පලතුරු, තේ, කුරුඳු හා ගම්මිරිස් අක්කර ලක්ෂ විසිපහකට වැඩි ප්‍රමාණයකට බලපෑම් සිදුවෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

මීට අමතරව වියළි කාලගුණ තත්ත්වය ගවපාලනයටද දැඩිව බලපා තිබෙන බවත්, ජල කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.



මේ නිසා ජල කළමනාකරණයට අදාළ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා 08දා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසී ය. මහා වාරි ව්‍යපාරවල ජලය නිකුත් කිරීමෙහිදී පානීය ජලයට මූලිකත්වය ලබා දිය යුතු බවත්, ඉන් පසුව වගාවන්ට අවස්ථාව ලබා දී තුන්වැනි අවස්ථාවෙහිදී විදුලි නිෂ්පාදනයට අදාළව ජලය නිකුත් කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ විදුලිය නිෂ්පාදනයට පුමුඛස්ථානය ලබා දී ඉන් පසුව පානීය අවශ්‍යතා සඳහා ජලය නිකුත් කිරීමය, තුන්වැනි අවස්ථාව ලෙස වගාවන්ට ජලය නිකුත් කිරීමය. සමස්ත වැව් හා ජලාශවලින් අතිබහුතරයක් රොන්මඩවලින් පිරීවතී. මේ නිසා සති දෙක තුනක් වර්ෂාව නොමැති වූ විට සියලුම ජලමූලාශ්‍ර ජල ගැටලුවකට ලක්වන බවත්,

මේ නිසා නවීන තාක්ෂණය භාවිත කර රොන්මඩ ඉවත් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කුඹුරු අක්කර ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ජල ගැටලුවකට මුහුණ දී සිටින බවත්, මීට අමතරව එළවළු,පලතුරු, ධාන්‍ය, වගා අක්කර ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් හා තේ, කුරුඳු, ගම්මිරිස් වගා අක්කර ලක්ෂ 05ක පමණ ජල ගැටලු ඇතිවී තිබෙන බවත් පැවසීය.

තෘණ භූමි වියළී යෑම හා ගවයන්ට පානය කිරීමට අවශ්‍ය ජලය හිඟවීම නිසා ගවකර්මාන්තයද, දැඩි අර්බුදයකට ලක් වෙමින් තිබෙන බවත්, මේ නිසා විදුලි නිෂ්පාදනයට විකල්ප ක්‍රම භාවිත කර දැනට ජලමූලාශවල තිබෙන ජලය නිසි ලෙස කලමනාකරණය කළ යුතු බවත් අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
- ඉන්දික හේවාවිතාරණ