house-construction-project

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ක්‍රමවේද 03ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට අපේක්‍ෂිත වන අතර, ඉන් පළමු ක්‍රමවේදය ඔස්සේ සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීම, දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීම, තුන්වැනි ක්‍රමවේදය වන්නේ,

මහල් නිවාස ඉදිකර දීම ලෙස නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර, ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතය.

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂය භාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මගින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ සමීක්‍ෂණයක් සිදුකර ඇති අතර, ඊට අයදුම්පත් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතින බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

=නවෝද්‍යා පවනි