ingiriya-incident


ඉංගිරිය - හඳපාන්ගොඩ ප්‍රදේශයේ තේ ඉඩමක අතහැර දමා ඇති ජලය නොමැති ලිඳක් තුළ සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුව තිබේ.


එවැනි සිරුරක් ඇති බවට පසුගිය 9 වැනිදා ඉංගිරිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙයි.මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වන මීරියගොල්ල, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මෙම පුද්ගලයා මෙනේරිගම ප්‍රදේශයේම පිහිටි රබර් කර්මාන්ත ශාලාවක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර 07 වන දින සිට මොහු අතුරුදහන්ව සිට ඇති බව පැමිණිලි කර තිබේ.
පසුව සිදුකල සොයා බැලීමේදී තේ ඉඩමේ ජලය නොමැති ලිඳෙහි තිබී මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගත් බව පොලිසිය සඳහන් කර තිබේ.පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව ගෙල සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කර ඇත.
දේහය ඥාතීන්ට භාරදී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධව මේ වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.