kahapola-incident


කහපොළ, රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ මාර්ගයට කසළ බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක දී කාන්තාවකට පහර දී තුවාල සිදුකළ බව කියන එකම පවුලේ සිවුදෙනකු පෙරේදා (08) දා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහපොළ,

රෙජිඩේල්වත්තේ පදිංචි (30 40) ව්‍යාපාරිකයකු, ඔහුගේ සහෝදරයකු ඇතුළු සිවු දෙනකු බව පොලීසිය කියයි. පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය රෙජිඩේල්වත්ත ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවෙස ආසන්න මාර්ගයේ කිසියම් අයකු නිරන්තරයෙන් කසළ බැහැර කර ඇත. මේ සම්බන්ධයෙන් මීට පෙර ද යාබද නිවෙසක පදිංචි කාන්තාවක සමග බහින්බස්වීම් සිදුව ඇති අතර, පෙරේදා (08) දා සවස ද මෙසේ කසළ බැහැර කර තිබේ. ඒ අනුව කසළ බැහැර නොකරන ලෙසට යාබද නිවසේ කාන්තාවට පැවසීමේ දී දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ. පහරකෑමෙන් කාන්තාවගේ කනට මුහුණට හා සිරුරේ ස්ථාන කිහිපයකයට තුවාල සිදුවී ඇත.



සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී පහරදීම සිදුකළ බව පැවසෙන සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පහරදීම සඳහා සැකකරුවන් තියුණු ආයුධ රැගෙන ආ බවට තුවාල ලැබූ පාර්ශ්වයෙන් පවසන අතර සැකකාර පාර්ශ්වය පවසන්නේ තුවාල ලැබූ කාන්තාවගේ පාර්ශ්වයෙන් තියුණු ආයුධයක් රැගෙන ආ බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් (09) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න