කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්තශාලාවක සිදු වූ අනතුරකින් ඉන්දියන් ජාතිකයන් හත් දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලීසිය සදහන් කරයි. තුවාල ලැබූවන් අතර වැඩ පරීක්ෂකවරයකු මෙන්ම සාමාන්‍ය සේවකයන් හය දෙනකු ද බව පොලීසිය කියයි. කෝව තුළට යකඩ හතරෙන් තුනක් පමණ දමා එය සෙන්ටිග්‍රේට් අංශක 1400 දක්වා උණු වෙද්දී අධික ලෙස ගිනියම්ව තිබූ යකඩ වතුර අනාරක්ෂිත ආකාරයෙන් පිටතට විසි වී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.



තුවාල ලැබූවන් වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. යකඩ දියර ඇඟ මතට පතිත වීමෙන් තුවාල ලැබූවන්ගේ හිස සහ මුහුණු හැරෙන්නට ශරීරයේ සෑම ස්ථානයක්ම අධික ලෙස පිළිස්සී තිබූ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ