හිටපු පොලිස් නිලධාරියකු ගස් බැඳ පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් 9 දින උදෑසන දඹුල්ල කණ්ඩලම 16 |කොටසට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් රාජකාරියේ සිටියදී වැඩ තහනමකට ලක් වූ බව කියන කණ්ඩලම 16 ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. හේරත් බණ්ඩා නම් වූ දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස්ගතව සිටින බවත්, ඔහුගේ දරුවන් දෙදෙනා වෙනම ප්‍රදේශයක ජීවත් වන බවත්, ඔහු තනිවම නැන්දම්මාගේ නිවස ආසන්නයේ ජීවත් වූ බවත් පොලීසිය කියයි.

විදේශගතව සිටින බිරිඳගේ මව සමග දිගින් දිගටම ආරවුල් පැවති බවත්, පෙරේදා රාත්‍රියේ මෙම පුද්ගලයා සිය නැන්දම්මා සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ ඇගේ සහෝදරයකු සහ සහෝදරයාගේ පුතෙකු මොහු සමග ගුටිබැට හුවමාරුවක් ඇතිකර ගෙන තිබේ යැයි පොලීසිය සැක කරයි.



සිය නැන්දම්මා සමග ආරවුල් ඇති වූ ස්ථානයේ සිට මීටර් හයසීයක් පමණ දුරකින් පිහිටි එම කාන්තාවගේ සහෝදරියගේ නිවසට මෙම පුද්ගලයා රැගෙන ගොස් එම නිවස ඉදිරිපිට අනෝදා ගසක බැඳ පහර දුන් බව නිවෙස් හිමිකරු පොලීසියට ප්‍රකාශ කළේය . පහරදුන් බව කියන මියගිය අයගේ නැන්දම්මාගේ සහෝදරයෙකුගේ පුතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.