kandana-fire-incident

කඳාන පියුම් මාවතේ පිහිටි ඌරුමස් ව්‍යාපාරිකයකුට අයත් දෙමහල් නිවෙසකට පසුගියදා සිදුකළ වෙඩි තැබීම රුපියල් ලක්ෂ විස්සක කප්පමක් නොදීම මත වූ සිද්ධියක් බව අනාවරණය වී තිබේ.

පසුගිය (04 වැනිදා) උදෑසන 06 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුදුගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා වෙත පසුගිය 02 වැනිදා ඩුබායි,හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රසික චන්දික හෙවත් චූටි මල්ලි නමැත්තාගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇති බවත් ලක්ෂ විස්සක කප්පම් මුදල ව්‍යාපාරිකයා විසින් ලබානොදීම‍ මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් කඳාන පොලිසිය සඳහන් කරයි.



මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද විමර්ශන මගින් යතුරුපැදියේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. කඳාන ප්‍රදේශයේම පදිංචි ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 31 වැනිදා යතුරුපැදිය සද්දික නමැති මිතුරෙකු රැගෙන ගිය බව පවසා ඇත.

සද්දික යනු සංවිධානාත්මක අපරාධ කල්ලිසාමාජිකයකු වන ගම්පහ වරුණ නමැත්තාගේ ගෝලයෙකු බවත් වරුණගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් හෙළිවී ඇත.



අත්අඩංගුවට ගත් යතුරුපැදියේ හිමිකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර වෙඩික්කරුවන් දෙදෙනාද මේ වනවිට හඳුනාගෙන ඇත.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයත්, කඳාන පොලිසියත් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදු කරති.

එෆ්.අස්ලම්