පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මහනුවර නගර සීමාවේ දෛනික ජල සැපයුම පවා ලබාදීමටද ප්‍රශ්නකාරී වාතාවරණයක් උද්ගතව තිබියදී, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඇසළ පෙරහර මංගල්‍යය කාලවකවානුව තුළ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය ජලය ලබා දීම තවත් ගැටලුකාරී විය හැකි බැවින් නාගරික ජනතාව ජල පරිභෝජනය කිරීමේදී අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහනුවර නාගරික ප්‍රධාන ජල කර්මාන්ත ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා ඉල්ලා සිටී.

මෙවර ඇසළ පෙරහර නැරඹීම සඳහා අතිවිශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් මහනුවරට එක්රොක් වෙතැයි බලාපොරොත්තු වන අතර එම කාලය තුළ නගරයේ ජල පරිභෝජනය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයිද ඒ මහතා පවසයි.



මහනුවර නගර සීමාවට ජල සැපයුම ලබා දීම සඳහා ගැටඹේ ස්ථාපිත කොට ඇති ජල පොම්පාගාරයේ ජල ටැංකිවල අවම ජල මට්ටම පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරයේ උස් ස්ථානවල පිහිටි ගම්මාන වලට ජලය පොම්ප කිරීම ගැටලු සහගත වී ඇති බවද ජල කර්මාන්ත ඉංජිනේරුවරයා පෙන්වාදෙයි.

මහනුවර ජල කර්මාන්ත ඉංජිනේරුවරයා මෙම කරුණු අනාවරණය කර සිටියේ පවතින වත්මන් දේශගුණික තත්ත්වය හමුවේ මහනුවර නගරයේ ජල සැපයුම සම්බන්ධයෙන් කළ විමසීමකදීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර නාගරික ජල පොම්පාගාරය 1965 වසරේදී ඉදිකරන ලද ඉතා පැරණි එකක් බවත්, ඉන් දෛනිකව ජලය කියුබික් මීටර 33,000ක් පොම්ප කරන බවත්, එහෙත් මහනුවර නගර සීමාවේ දෛනික ජල අවශ්‍යතාව කියුබික් මීටර් 56,000ක් බවත්ය.



ජල ටැංකිවල අවම ජල මට්ටම නොමැතිවීම හේතුවෙන් බහිරවකන්ද, අස්ගිරිය, හීරැස්සගල, අම්පිටිය, ධර්මරාජ කන්ද ආදී ප්‍රදේශ ප්‍රදේශවලට ජලය පොම්ප කිරීම ගැටලු සහගත වී ඇති බවත්, එම ප්‍රදේශවලට බවුසර මගින් ජල සැපයුම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

රාජ්‍ය ආයතන, පාසල් සහ මහයියාව නගර සභා ගම්මානයේ සවිකොට ඇති පොදු ජල කරාමවල ජලය අරපිරිමැස්මකින් තොරව භාවිත කරන බවට නිරීක්ෂණය වී ඇති බව පැවසූ ජල ඉංජිනේරුවරයා ගැටඹේ ජල පොම්පාගාරයේ මාසික විදුලි බිල පමණක් රු. තුන්කෝටි හැට ලක්ෂයක් වන බව කීය. රසායනික දුව්‍යවල මිල ද ඉහළ ගොස් ඇති බැවින් ජලය කියුබික් මීටරයක් සදහා රු. 85ක නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බැවින් එය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසද ජල කර්මාන්ත ඉංජිනේරුවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

   ෂේන් සෙනෙවිරත්න