karapitiya-baby-death-prison-virus-meningococcal

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් (meningococcal) රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි ඊයේ (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ බිළිඳු මරණයක මරණ පරීක්ෂණයේදී සැක මතු කර තිබුණි.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති මෙම බිළිඳිය පසුගියද 25 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පසුව එම මරණය සම්බන්ධයෙන් ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් හදිසි මරණ පරීක්ෂණය පැවත්වා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවය.



ඒ බව තහවුරු කරගැනීම සඳහා සිරුරේ පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ බවත් පරීක්ෂණාගාර වාර්තා ලැබුණු පසු මරණයට හේතුව ස්ථිරවම තහවුරු කළ හැකි බව ඔහු සඳහන් කරයි.

එසේම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී ජයරත්න මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබාදෙමින් පවසා ඇත්තේ, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත් දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත්ය.



අධිකරණ වෛද්‍යවරයා ඥාතීන් කැඳවා ඔවුන්ට විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ උණ, ඇඟ කැසීම, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගත වන ලෙසය.

උණ, ඇඟ කැසීම, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා තිබේ නම් වහාම රෝහලකට ඇතුළත් විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.