kelaniya-university-doctorate

මෙම මස 14 වැනිදා මහාචාර්ය උසස්වීමට නිර්දේශව සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙක් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ ඊට අදාළ නිබන්ධනයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා නොතිබිය දී බව මේ වන විට අනාවරණය වී තිබේ. ඔහුගේ නිබන්ධනය සඳහා පළමු පරීක්ෂකවරයාගෙන් ලැබී ඇත්තේ සියයට 54ක ප්‍රතිශතයකි. දෙවැන්නාගෙන් සියයට 33ක් ලැබී තිබේ. පරීක්ෂකවරුන් දෙදෙනා අතර ලකුණු පරතරය වැඩි හෙයින් තෙවැනි පරීක්ෂකවරයකුට නිබන්ධනය යොමු කර ඇත. එහිදී ලැබී ඇති ලකුණු ප්‍රතිශතය සියයට 45කි. පරීක්ෂකවරුන් තිදෙනාගේ ම මෙම ලකුණු වල සාමාන්‍යය සියයට 44කි.

ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා නිබන්ධනයට සියයට පනහ ඉක්මවූ ප්‍රතිශතයක් අවශ්‍ය වෙයි.

කෙසේ හෝ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨයෙන් ඔහු ආචාර්ය උපාධි සහතිකය ලබා ගෙන ඇත්තේ එම නියමිත ලකුණු ප්‍රමාණය ලබා නොතිබිය දී ය. 2014 වසරේ දී පමණ මෙම සහතිකය ලබා ඇති අතර එවකට උපකුලපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ය. මෙම ව්‍යාජ සහතිකය ඉදිරිපත් කරමින් මෙම ආචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සියලු වරප්‍රසාද ලබා ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ එහි සිටි අංශ ප්‍රධානියා සහ මෙම ආචාර්යවරයා අතර ඇති වූ ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙනි. එම ගැටලුකාරි තත්ත්වය මත අංශ ප්‍රධානියා ආචාර්යවරයාගේ ලකුණු අභියෝගයට ලක් කර ඇත. ඒ අනුව වත්මන් උපකුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. ආචාර්යවරයාගේ කූඨ ක්‍රියාකලාපය අනාවරණය කරගෙන ඇත්තේ එම කමිටුවෙනි.



මෙම ආචාර්යවරයා හුවමාරු වැඩසටහනක් යටතේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මාස තුනක පමණ කාලයක් ගත කර පැමිණ තිබෙන අතර ඔහුගේ වෙබ් පිටුවේ පළ කර ඇත්තේ ආචාර්ය උපාධිය ලබා ඇත්තේ එම විශ්වවිද්‍යාලයෙන් බවය.

මේ අතර භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු කරන මොහු පසුගිය මස අවසානයේ දී දරුවන්ගේ මනස සම්බන්ධව ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක් වී ඇති අතර එහි අරමුණ වී ඇත්තේ මහාචාර්ය උසස් වීම සඳහා අවශ්‍ය ලකුණු තුනක් ලබා ගැනීම බව මේ වන විට හෙළි වී ඇත. තමන්ට අදාළ නොමැති විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මෙම ආචාර්යවරයා එම වැඩසටහනට කැඳවීම සම්බන්ධයෙන් එහි නිෂ්පාදිකාවට අදාළව ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

මෙම ආචාර්යවරයා සහ වැඩසටහනේ නිෂ්පාදිකාව එකම වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කර තිබෙන බව පැවසේ.

විසි වසරක පමණ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරන මොහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ලබන සතියේ දී උපකුලපතිනියට භාර දීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් උපකුලපතිනිය ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෙසු ආචාර්යවරු අවධානයෙන් පසු වෙති.

නිලන්ත මදුරාවල