kesbewa-man-death

මෝස්තර ශිල්පියකුගේ මළ සිරුර සැකකටයුතු ලෙස නිවසේ උඩු මහලේ නාන කාමරය ඉදිරිපිට එල්ලෙමින් තිබිය දී ඊයේ (16) හමුවූ බව කැස්බෑව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කැස්බෑව මාකන්දන විජිතපුර පළමු වැනි පටුමග පදිංචිව සිටි වෙන්නප්පුලි ආරච්චිගේ ඉසුරු නෙරන්ජන 30 හැවිරිදි තරුණයෙකි.

මව්පියන් සමඟ කතාබස් කරමින් සිට ඇති ඔහුට රාත්‍රී ආහාර ගැනීමට මව තරුණයාගේ කාමරය අසලට ගිය අවස්ථාවේ දී කාමරයේ දොර වසා තිබූ බැවින් මද වේලාවක් කතා කර ඔහුට නින්ද ගොස් ඇතැයි සිතා මව ආපසු පැමිණ තිබූ බව පොලිසිය කියයි.



අනතුරුව ඊයේ (16) උදෑසන තේ රැගෙන කාමරය අසලට ගොස් පුතුට කතා කිරීමේ දී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් සැමියාට ඒ බව සැලකිරීමෙන් අනතුරුව ඔහු පැමිණ තරුණයා රැඳී සිටින කාමරය ඉදිරිපිට බංකුවක් තබා දොරේ කවුළු අතරින් බැලීමේ දී ඔහු ඇඳ මත දකින්නට ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි.

අනතුරුව අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් පවසා ඔවුන් පැමිණ කාමරයේ දොර කඩා බැලීමේ දී ඔහුගේ සිරුර තිබෙණු දැක පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් නිලධාරීන් තවදුරටත් පරික්ෂා කිරීමේ දී ඔහුගේ කාර්යාලය තුළ “ අත් නොහැර අත්හැර බලා සිටිමි” මිය ගිය තරුණයා විසින් ලියන ලද පිටු 21කින් සමන්විත කුඩා පොතෙහි පළමු වැනි පිටුවේ 'මරණය කියන්නේ මහා අමුතු වචනයක්, නිතර අහන්න අකැමැති වචනයක්, නිතර දකින්න වෙන, ඒත් අපි දකින්න අකමැති සිදුවීමක්, නිතර කියන්න වෙන ඒත් කියන්න අකමැති  වචනයක් කිව්වොත් මම වැරදි නෑ කියලා හිතනවා, යනුවෙන් ආරම්භ කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



සමීප ඥාතීන්ට ලියන ලද ලිපි 13 ක් කවරවල බහා අවසන් කැමැති පත්‍රය මෙයයි! මගේ මරණයත් සමග එක් එක් කවර නම් සඳහන් අය වෙත බාර දෙන්න. යනුවෙන් ලියා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

තම පුතු දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 10 සහ 3 බැගින් ලබාගෙන දීම ආපසු දීමට අතපසු වූ හෙයින් තම පුතු රිමාන්ඩ් භාරයට පවා පත් වූ බවත් මව පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි.

මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට ද නියමිතය. සහකාර ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන සමරසිංහ, උප පොලිස් පරීක්ෂක පොඩි රාලහාමි, පොලිස් සැරයන් (52482) කරුණාරත්න මහත්වරු පරීක්ෂණ පවත්වයි.

  බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ