keselwatte-incident

කෙසෙල්වත්ත මාටින් පෙදෙසේ හෝටලයක් තුළ දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ගිනි අවිය සොයාගෙන ඇත්තේ කඩවත නිවසක් පිටුපස ප්ලාස්ටික් භාජනයක බහා වළ දමා තිබියදීය. එම ගිනි අවි සමඟ උණ්ඩ 20 ක් ද සිය බාරයට ගැනුණ බව පොලිසිය කියයි.

ගිනි අවියේ රහස් අංකය මකා තිබූ අතර එය ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන ලද එකක් බව ද බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපති ලෙස පත් වූ දුමින්ද ජයතිලක මහතාට ලද තොරතුරකට අනුව

ඉකුත් 20 වැනිදා දින කඩවත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කෙසෙල් වත්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම වෙඩික්කරුවා ලෙසත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඊට අමතරව එම ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. එම ගිනි අවිය දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත.



කෙසෙල්වත්ත හෝටලය තුළදී විසි හැවිරිදි තරුණයාගේ ඝාතනය සිදු කළේ මීට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවේ දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව කියන ඩනේශ් නමැත්තා ගේ හා ඩුබායිහි සැඟව සිටින ඉර්ෆොන් නමැත්තාගේ උපදෙස් මත බව සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය කියයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ