kidney-issue-child-death

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු සම්බන්ධව සැත්කම කිරීමට පෙර සහ සැත්කම කරන අවස්ථාවේදී සිදුකළ ස්කෑන් පරීක්ෂාවන් නිසි ලෙස හඳුනා නොගැනීම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයි බොරැල්ල පොලිසිය ඊයේ (22) අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේදී බොරැල්ල පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරමින් එසේ දැනුම් දුන්නේය.

වකුගඩු සැත්කමෙන් පසු මියගිය තුන් හැවිරිදි දරුවා මුල් කාලයේ සිට පරීක්ෂාවට ලක් කළ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ  මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව, මියගිය දරුවාගේ වම්පස වකුගඩුව අඩු ක්‍රියාකාරීත්වයෙන් තිබූ බවට හඳුනාගත් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළ බවත් බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්  කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන වෛද්‍ය මලිත් සමරසිංහ මහතා රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා ලෙස ද කටයුතු කරන බවත්, මියගිය දරුවා එම රෝහලේදී මෙන්ම පෞද්ගලික සායනයේදී වෛද්‍යවරයා විසින් පරීක්ෂාවට ලක්කරනු ලැබ තිබූ බවත් එම ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි ද බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

දරුවාගේ දකුණුපස වකුගඩුව සියයට අනූවක් පමණ ක්‍රියාකාරී තත්ත්වයේ ඇති බවට හඳුනාගත්  අතර, ක්‍රියාකාරීත්වයෙන් අඩු වම්පස වකුගඩුව ශරීරය තුළ තිබීමෙන් වෙනත් අතුරු ආබාධවලට ලක්වීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව මවුපියන් දැනුවත් කර ඔවුන්ගේ එකගතාව මත වම්පස වකුගඩුව ඉවත් කිරීමට තීරණය කළ බවට විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇතැයි බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. දරුවාගේ සැත්කම සිදුකරන දින ශල්‍යාගාර දෙක තුළ තමාත් විශේෂඥ වෛද්‍ය නවීන්  විජේකෝන් මහතාත් ශල්‍යකර්ම සිදුකළ අතර, දරුවාගේ සැත්කම සිදුකළේ නවීන් විජේකෝන් මහතා බවත්, සැත්කම සිදුකරන අතරතුර නවීන් විජේකෝන් මහතා යම් කරුණක් සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට තමාට දුරකතනයෙන් කතා කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



පසුව එම ශල්‍යාගාරයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම දරුවාගේ වම් ඇලයේ සිදුකළ කැපීමක් හරහා වකුගඩුව පෙනීමට තිබූ අතර, එය ඉතා තුනී බිත්ති සහිත පිම්බුන මල්ලක් වැනි උදරයෙන් අඩක් පමණ පිරී තිබුණු බවත්, එහි පහළ කොටසේ තරමක් තදැති වකුගඩුවක ස්වභාවය ඇති කුඩා කොටසක් සහ මුත්‍රා වාහිනී දෙකක් දක්නට තිබූ බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විකිරණවේදී විශේෂඥ වෛද්‍ය දමින් ද මහතාට දුරකතනයෙන් කතා කර එම ස්ථානයේදීම දරුවා ස්කෑන් පරීක්ෂණයකට යොමු කර දරුවාගේ දකුණුපස වකුගඩුව ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු වම්පස වකුගඩුව ඉවත් කිරීමේ සැත්කම නවීන් විජේකෝන් වෛද්‍යවරයා විසින් සිදුකරනු ලැබ තිබූ බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පසුව දරුවාගේ මුත්‍රා පිට නොවීම හේතුවෙන් කරන ලද ස්කෑන් පරීක්ෂණයේදී වකුගඩු දෙකම ඉවත්ව තිබූ බවට හඳුනාගත් බවත් සැත්කම සිදුකිරීමට පෙර අවස්ථාවලදී හා සැත්කම් සිදුකරන අවස්ථාවේදී කළ ස්කෑන් පරීක්ෂණවලදී මේ තත්ත්වය නිසි ලෙස හඳුනා නොගැනීම මත මෙම සිදුවීම වූ බවත් විශේෂඥ වෛද්‍යවරයා සිය ප්‍රකාශයෙන් සඳහන් කළ බව බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියේදී දරුවා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය රන්දුල රණවක, ජෙරාඩ් ප්‍රනාන්දු, නවීන් විජේකෝන් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුව ඇති අතර විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ඉකුත් 2022 නොවැම්බර් මස 23 වැනි දින කර තිබූ ඉල්ලීමකට අනුව ඉකුත් 2023 ජනවාරි මස 28 දින විදෙස්ගත වී ඇති බවට අනාවරණය වී ඇතැයි ද බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට  ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතාට ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචිව සිටි තුන් හැවිරිදි මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් දරුවාය.


නිමන්ති රණසිංහ