kolonna-fake-missing-businessman-arrested

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න, නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන පොලීසිය මඟින් ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එවේලේ සිය මිතුරකුගේ නිවසක සැඟව සිට ඇත.
ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ තමා අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාජ අපරාධයක් මවා පා තමන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව ඇඟවීමට පිටපතකට අනුව වැඩ කර ඇති මෙම පුද්ගලයා අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ඔහුගේ බිරිය ඊයේ (17) කොලොන්න පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළේය.



ඒ අතර ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.

රථයේ රියදුරු අසුනේ මිරිස් කුඩු විසිරී තිබූණි. එහෙත් ඒ මිරිස් කුඩු විසිරී ඇති ආකාරයේ අතාත්වික බව නිරීක්ෂණය කළ පොලිස් විමර්ශකයන් මුල සිටම සැක කළේ මේ පුද්ගලයා අපරාධ ජවනිකාවක් මවා පාන්නට ඇති බවයි.
ඔහු ඊයේ රාත්‍රියේ රුපියල් ලක්ෂ 10ක මුදලක් දෙනියායේ පෞද්ගලික බැංකුවකින් ලබාගෙන, ඉන් රුපියල් 240,000ක් තවත් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම්වලට බැර කර, තවත් රුපියල් 29,000ක් උකස් තැබූ රන් භාණ්ඩවල පොලිය ලෙස ගෙවා ඇති බවද හෙළි විය.



මේ පුද්ගලයා සැඟවී පලා ගොස් ඇතැයි යන මූලික සැකය මතම පිහිටා පොලිස් විමර්ශන අරඹා ඇති මොහාතක මිරිහාන පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුනේ අතුරුදහන් වූ කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ සැඟවී සිටින බව ඔත්තුවක් ලෙසයි.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මෙකී නිවසට පැමිණෙන විට අතුරුදහන් වූ බව කියන පුද්ගලයා එම නිවසේ සිටිය දී අත්අඩංගුවට ගන්නට හැකි විය. නවාතැන් දුන් පුද්ගලයාද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය හමුවේ ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන් ලක්ෂ හැත්තෑවකට ආසන්න මුදලක් විවිධ පුද්ගලයින්ට ණය වී ඇති බවත් එම ණයෙන් ගැලවීම සඳහා මෙසේ අතුරුදහන් වීමක් සැලසුම් කළ බවත්ය.