kottawa-shop-theft

කොට්ටාව, මාලපල්ල  ප්‍රදේශයේ අලෙවිසලකින් භාණ්ඩ සොරාගත් අඹුසැමියන් අල්ලා ගැනීමට යාමේදී සොරුන් අත තිබූ තියුණු ආයුධ ප්‍රහාරයකින් වෙළෙඳසලේ තිදෙනකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. සොරකමට පැමිණි පුද්ගලයා පලාගොස් ඇති අතර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රෝහල් ගතකළ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පිහිටි අලෙවිසලකට භාණ්ඩ මිලදීගන්නා මුවාවෙන් ඉකුත් 08 දා රාත්‍රී 07 පමණ කාන්තාවක සහ පුද්ගලයකු පැමිණ තිබේ.



දෙදෙනා පැයක පමණ කාලයක් විවිධ මාදිලියේ භාණ්ඩ තෝරා ගනිමින් කාලය ගත කර ඇති අතර ඒ පිළිබඳව වෙළෙඳසැලේ හිමිකරුට සැක සිතී එහි සිටි තවත් දෙදෙනකු සමග සෝදිසියෙන් සිටින අතරතුරදී බෑගයකට භාණ්ඩ තොගයක් දමාගන්නා කාන්තාව ඊට මුදල් නොගෙවා පලායන අයුරු දැක ඇත. එම අවස්ථාවේදී වෙළෙඳසලේ සිටි තිදෙනා ක්ෂණිකව  ක්‍රියාත්මක වී පලායමින් සිටි දෙදෙනා අල්ලාගෙන පොරබදන අවස්ථාවේ  දී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් වෙළ‍ෙසලේ   පුද්ගලයන් තිදෙනා කපා බරපතළ තුවාල සිදු කොට පලා ගොස් තිබේ. එහිදී අසල්වාසීන්ගේ සහායෙන් පලා යමින් සිටි සොරාගත් භාණ්ඩ තොගයක් ද සමඟ අල්ලාගෙන ඇති අතර පසුව ඇය පොලීසියට භාර දී ඇත.



තියුණු ආයුධ ප්‍රහාරයෙන් වෙළෙඳසල් හිමිකරුගේ සහෝදරයා, ඔහුගේ ඥාතියෙකු සහ සේවකයෙකු මෙසේ තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් දෙදෙනකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බවත් එක් අයකුගේ තත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. අත්අඩංගුවට ගත් කාන්තාව අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තියකි. පලාගිය සැකකරු හෙරොයින් පානයට ඇබ්බැහිවූවකු බවත් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා දෙදෙනා හෝමාගම කොට්ටාව අවට ප්‍රදේශවල අතුරු මාර්ගවල පිහිටි වෙළෙඳසල්වලට ගොස් මෙසේ භාණ්ඩ සොරාගෙන ඒවා විකුණා උපයා ගන්නා මුදලින් මත්ද්‍රව්‍ය පානයට පුරුදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු බවත් දෙදෙනා අඹු සැමියන් බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කාන්තාව 09 දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න