kuliyapitiya-incident

තම මව නිවස පිටුපස වැසිකිළිය අසල මඩුවක් තුළ පුටුවක ගැටගසා කෲරත්වයෙන් සැලකූ දියණියක් පන්නල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාරිය කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්ත්‍රාත් උපුල් අලගියවන්න ඇයට දැඩිසේ අවවාද කොට රුපියල් ලක්ෂ දෙකහාමාරක ඇප මත මුදාහරින ලෙස පෙරේදා (05 වැනිදා) නියෝග කළේය. පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් එසේ ඇපමත මුදාහළ අතර යළිත් නඩුව ඔක්තෝබර් 26 කැඳවීමට නියම විය.



පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ වයස අවුරුදු 81ක් පමණ වන වයස්ගත මවගේ ඇඟේ නිලමැස්සන් වහමින් සිටි තුවාල පවා තිබූ බවයි. එමෙන්ම ග්‍රාම නිලධාරීවරයා සමග යනවිටත් මව ලණු බැමි නිසා පීඩා විඳිමින් වේදනාවෙන් සිටි බවත් 1990 ගිලන් රථයකින් වයස්ගත මව රෝහල්ගත කළ බවත් පොලිසිය පැවසීය. මවට ප්‍රතිකාර පවා නොකළ සැකකාර කත රක්ෂිත බන්ධනාගාරගකරන ලෙසද පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



සැකකාරියගේ නීතිඥවරයා කියා සිටියේ පොලිසිය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. දරුවන් තිදෙනෙක් සිටියදී මවට සලකන්නේ තමන්ගේ සේවා දායිකාව බවත් ප්‍රතිකාර පවා ඇය සිදුකරන බවත් නීතිඥවරයා අධිකරණයට කීවේය. මානසික ප්‍රතිකාර ගන්නා මව නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවල ඇවිද යාවි යන උපකල්පනය මත බැම්මක් දැමූ බවත් රෝහල්වල පවා රෝගීන් බැඳ තබන බවත් පැවැසූ හෙතෙම මවට ඉදිරියේ ප්‍රථිකාරකළ යුත්තේ තම සේවාදායිකාව බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු පිළිබඳව අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා දිට්ඨ ධම්මවේදනීය කර්මය පිළිබදවත් තම දරුවන් අනාගතයේ තමන්ටද එවැනි සැලකීමක් කරාවි යන්න සිතේ තබා ගන්නා ලෙස සැකකාරියට පහදා දෙමින් ආසන්න දිනක ප්‍රතිකාර ලබාදීම පිළිබඳව අවධානය යොමුකොට ඇප නියම කළේය. 
මනුසත් සේරසිංහ - කුලියාපිටිය