සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීමේදී සිදු වී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අතර, සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් ටොන් 896ක් ගොවීන්ට බෙදාහැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන් කෝටි තිස් අට ලක්ෂයක මුදලක් පාඩු වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. එම පොහොර මෙලෙස හානි වී ඇත්තේ, ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදා හැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ද එහි සඳහන් කර ඇත.
රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් පොහොර මෙට්‍රික් ටොන් 671ක් 2019 වර්ෂයේදීත්, රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා පොහොර මෙට්‍රික් ටොන් 225ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ. ලක් පොහොර සමාගම විදේශීය සැපැයුම්කාර සමාගමක් සමග 2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව සපයන ලද දියර පොහොරවලින් රුපියල් කෝටි අටක පමණ කල් ඉකුත් වූ පොහොර ලීටර් 109,408ක ප්‍රමාණයක් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ 2021 වර්ෂයේ මාර්තු මාසය වන විටත් ගබඩා කර තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.
පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා හතළිස් හයක් පවත්වාගෙන ගොස්, වැටුප් පරිපාලන මෙහෙයුම් හා ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබා තිබූ බව ද එහි සඳහන් වේ.
සමාගම අධ්යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවන සේ රුපියල් දෙකෝටි දෙලක්ෂයකට වැඩි මුදලක් දිරිදීමනා ලෙස 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. මේ අතර, බෝග සඳහා පොහොර සපයන සැපැයුම්කරුගෙන් ණය පදනම මත ලබාගෙන තිබූ යූරියා මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් රජයෙන් නොමිලේ දෙන සහනාධාර පොහොර ලෙස නම් කිරීමකින් තොරව, සමාගමේ ඇසුරුම් සහිතව ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බදු දීම හේතුවෙන් රජයේ සහනාධාර පොහොර අවභාවිත කිරීම සඳහා අවස්ථාව සැලසී තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.
සුජිත් හේවාජුලිගේ
0 Comments