lal-kantha-gnasara

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත ආන්දෝලනාත්මක සිංහල ජාතිකවාදී සංවිධානයක් වන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ආකාරයේ සේයාරුවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර තිබුණි.

එය ඇතැමුන් ව්‍යාජව සැකසූවක් ලෙස කියා තිබූ අතර රාජපක්ෂ ලෝලී ඥාණසාර හිමි සමග එවැනි ගනුදෙනුවක් සිදුවීම අදහන්නට අපහසු බව ඇතැමුන් අදහස් දක්වා තිබුණි. ආගම සම්බන්ධ වෙනත් මතයක් දරන සමාජ වාදියෙකු ලෙස ලාල් එවැනි ආශිර්වදයක් ලබාගන්නට යන්නේ නැති බවටද තර්ක පැනනැගිණි.

කෙසේ වෙතත් මෙම සේයාරුව සංස්කරණය කරන ලද එකක් නොව සත්‍ය එකක් බව සහ මෑතකදී ලබාගත් එකක් බව  බොදු බල සේනාවේ මාධ්‍ය අංශය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය විසින්ද තහවුරු කර තිබේ.




මේ පිලිබදව ලාල් කාන්ත දුරකථනයෙන් ෆැක්ට් චෙක් වෙබ් අඩවියකට අදහස් දක්වමින් පැවසුවේ තමන් රාජගිරිය ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී  ඒ අසල මාර්ගයකදී  ඥාණසාර හිමියන්ව මුණගැසුණු බවයි.එහිදී ඥාණසාර හිමියන් විසින් උන්වහන්සේ වැඩ වෙසෙන  පන්සලට පැමිණෙන ලෙස ආරාධනා කල බවත් ,ඒ අනුව තමන් එහිගොස් උන්වහන්සේ සමග කෙටි පිළිසදරක යෙදුනු බවත්ය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බෞද්ධ විහාරස්ථානයක්දී පිරිත් නූල් බැද ආශිර්වාද කිරීම සාමාන්‍ය පිළිවෙතක් බවයි.

කෙසේ වෙතත් ,මෙම සිදුවීම සම්බන්ධයෙන් ,ලාල් කාන්තට එරෙහිව විනය පරික්ෂණයක් ආරම්භ කර ඇති ඇතැම් සාමාජ මාධ්‍ය පිටු තුළ අදහස් සංසරණය වූ නමුත් ජනතා විමුක්ති පෙරමුණ එවැන්නක් නැතැයි දන්වා තිබේ.
ලාල් කාන්ත පසුගියදා ළහිරු යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් තමා නිතර පන්සල් යන සමාජ වාදියෙකු බවත් තමන් එම සංස්කෘතික කාරණාව සම්බන්ධයෙන් ගැටලු තබාගත් අයෙකු නොවන බවත් අදහස් දක්වා ඇත.