lal-sarath-kumara-passed-away

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට (69) වියේ පසුවිය. සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය. මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.
තමා කුඩා කාලයේ සිට ගුවන් විදුලියට සම්බන්ධවූ ආකාරය ඔහු විස්තර කර තිබේ. මව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ අයෙකු වූ නිසා වරින්වර දිවයිනේ විවිධ පලාත්වල පදිංචිය මාරු කරමින් විවිධ පාසල්වලට ගිය බව කී ඔහු ඒ නිසා ලංකාවේ විවිධ සංස්කෘතිය අධ්‍යයනය කරන්නට හැකිවූ බව කියා තිබේ.


අවසානයේ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේදී සිංහල භාෂාව ඉතා මැනෙවින් හදාරන්නට තමාට හැකිවූයේ එවක එහි විදුහල්පතිව සිටි පී ද එස් කුලරත්න මහතාගේ දිරිගැන්වීම් සමග බව පවසා තිබේ.
ගුවන් විදුලි සංස්ථාවට ඔහු මුලින්ම සම්බන්ධ වන්නේ සහන තාක්ෂණ පරිපාලන ශිල්පියෙකු ලෙසිනි. ඔහුට මෙම පත්වීම ලබාගැනීමට මග පෙන්වූයේ ගුවන් විදුලියේ සේවය කළ තම ඥාතී බාප්පාගේ මග පෙන්වීම අනුව බව කියා තිබේ.
කරුණාරත්න අබේසේකර වැනි දැවැන්ත ශිල්පීන් සමග තමාට වැඩ කරන්නට හැකිවූ බවත් ඒ අනුව ගුවන් විදුලි නාට්‍ය කලාවේ ප්‍රවීණයෙකු වීමට මග පෑදුණ බවත් කියා තිබේ.


තමා නොසිතූ මොහොතක දයා ද අල්විස් මහත්මියගේ කාන්තා වැඩසටහනක නාට්‍යයක හඩකැවීම් ශිල්පියෙකු වීමට අවස්ථාව ලැබුණ බවත් එතැන් සිට තමාට ලැබුණ ඇගයීම් සමග නාට්‍ය ශිල්පියෙකු බවට පත්වූ බවත් ඔහු කියා තිබේ.
අනතුරුව වැඩසටහන් නිෂ්පාදකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, නිවේදකයෙකු, බාහිර විස්තර විචාරකයෙකු ආදී ලෙස විවිධ භූමිකා තමා රජයේ ගුවන් විදුලියේදී සිදු කළ බවකියා තිබෙයි. අනතුරුව සිරස එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භයේදීම ඔහු ඊට සම්බන්ධවූ අතර එහි වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා හඬකැවීම් ශිල්පියෙකු ලෙස මහත් කාර්යභාරයක් ඉටු කළේය.