lindula-incident

අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව්හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පැවසීය.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, ලිඳුල ලෝගීවත්තේ පදිංචිව සිටි එක්දරු මවක වන මගමනි දයානි(අවු.26) නමැත්තිය සහ ඇයගේ අවුරුද්දක් වයසැති මනෝහරන් ප්‍රතික්ෂා නමැති සිගිත්තියයි.

සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතීන්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදුවන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය සහ තම විවාහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තබා ඊය‍ෙ(23) උදෑසන එම කාන්තාව සිගිත්තිය සමග ලිඳුල ලෝගීවත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිවි හානි කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය විය.



සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්.ආර්. විජේවික්‍රම මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා ලිඳුල පොලීසියට නියෝග කර සිටියේ ගොඩගත් සිරුර පශ්චාත් මරණ පක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

සිඟිත්තියගේ සිරුර සොයා නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක බළකායේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කළද සිරුර හමු නොවූ අතර, නාවික හමුදා සහාය ලබාගැනීමට කටයුතු කර සිඟිත්තියගේ සිරුර සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ලිඳුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හැටන් - රංජින් රාජපක්ෂ/ශාන් හුලංනුගේ