lottery-price-down-effect

ලොතරැයි පතක මිල රු. 40ක් බවට පත් කිරීමත් සමග ලොතරැයි පත් අලෙවිය 40% – 50% දක්වා අඩු වී තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි පත් අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

රු. 20 ක්ව පැවැති ලොතරැයි පතක මිල පසුගිය 06වැනි දින සිට රු. 40ක් දක්වා ඉහළ දැමීමත් සමග ලොතරැයි පත් අලෙවිය මේ ආකාරයට පහත වැටී තිබෙන බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසීය.



මේ පිළිබඳව අවධානය යොමු කර ලොතරැයි පතක මිල රු. 20ක් බවට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

ලොතරැයිපත් අලෙවිය අඩු වීම නිසා අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි සහායකයන්ගේ කොමිස් මුදල් අඩු වී තිබෙන බවත්, බොහෝ අලෙවි සහායකයන් මේ වන විට ලොතරුයි අලෙවියෙන් ඉවත් වී තිබෙන බවත් ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසීය.



පවතින මිලට අනුව අලෙවි නියෝජිතයෙකුට ටිකට්පත් දහසක් මිලදී ගැනීමට රු. 32,500ක මුදලක් අවශ්‍ය බවත්, මීට පෙර එය රු. 16,225ක මුදලක් පමණක් වූ අතර, ටිකට්පත් තොග මිලදී ගැනීමට පෙර මුදල් ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

ලොතරැයි පත් අලෙවිය අඩු වීමත් සමග, රජයට දෛනිකව ලැබිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වී තිබේ. මේ අනුව ලොතරැයි අලෙවියෙන් ලැබෙන මුදල්වලින් පවත්වාගෙන යන අරමුදල් පවා අර්බුදයකට ලක්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ